උතුරු මුහුදේදී කිලෝ 66.6ක ගංජා තොගයක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අත්අඩංගුවට

මාර්තු 31, 2022

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය විසින් අද (මාර්තු 31) උතුරු ශ්‍රී ලංකා මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 66.6 ක්, ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් තිදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

වෙරළාරක්ෂක බලකායට අයත් වේග මුර යාත්‍රාව කෝවිලම් ලයිට් සිට නාවික සැතපුම් 12 ක් උතුරින් මෙම මෙහෙයුම සඳහා යොදවා තිබූ බව වෙරළාරක්ෂක බලකා ආරංචි මාර්ග සඳහන් කරයි.

පැකට් 15 බැගින් ගෝනි 02 ක පුරවා තිබූ මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන දොළහකට අධික බව වෙරළාරක්ෂක බලකාය පවසයි.

සැකකරුවන් අවුරුදු 20ත් 24ත් අතර වයස්වල පසුවන බටහිර මාදගල් සහ මුලතිව් ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෙම ගංජා තොගය, ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මාදගල්, ඉලාවලෙයි පොලිසිය වෙත භාරදීමට නියමිත බව වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කළේය.