මාධ්‍ය නිවේදනය

අප්‍රේල් 05, 2022

ගරුතර ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලුම ආගමික නායකයින්ගෙන් අවසරයි.
 
දෙමාපියනි, මිත්‍රවරුනි, දූ දරුවනි, සියලුම ශ්‍රී ලාංකික පුරවැසියනි,
 
ප්‍රථමයෙන්ම මා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙසයි. දැනට රට තුළ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ජන සමූහයන් ඒකරාශී වී දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සංවිධානාත්මකව උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරමින් පවතී. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නිරූපණය වන පරිදි “සාමකාමී උද්ඝෝෂණයක්” යන තේමාව ඔස්සේ මෙම උද්ඝෝෂණ පැවැත්වීමට සංවිධානය කළද, දැනට පෙනී යන ආකාරයට මේ සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන බව නිරීක්‍ෂණය වේ.
 
එනම් එක් කණ්ඩායමක් සාමකාමී අයුරින් උද්ඝෝෂණය පවත්වාගෙන යනු ලබයි. ඔවුන් සාමකාමීව විසිර යන අතර, අනෙක් කණ්ඩායම සිතාමතාම රජයේ පොදු දේපල වලට හා විවිධ පාර්ශවයන්ගේ පෞද්ගලික දේපලවලට හානි පමුණුවමින් ප්‍රධාන මාර්ගයන් හා ප්‍රසිද්ධ ස්ථානයන්හී එදිනෙදා ජන ජීවිතයට අපහසුතා ඇතිවන පරිදි මහජනතාව අසීරුවට පත්වන ආකාරයෙන් සංවිධානාත්මකව ප්‍රචන්ඩකාරී උද්ඝෝෂණයන් පවත්වාගෙන යන බව පෙනීයයි.
 
හදිසි නීතිය ක්‍රියාත්මක වන තත්වයක වුවද, මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්‍ෂා කරමින් සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීම අනුමත කළ හැකි වුවද, සාමකාමී උද්ඝෝෂණ මුවාවෙන් යම් යම් අරමුණු මුදුන් පමුණුවා ගැනීමට සහ සාමය ආරක්‍ෂා කිරීමට කැපවී සිටින ආරක්‍ෂක අංශයන් සහ පොලිසිය අපහසුතාවයට පත්කරමින් පුද්ගලික දේපලවලට සහ රාජ්‍ය දේපලවලට හානි සිදුකරමින් ප්‍රචන්ඩකාරී අයුරින් හැසිරීම නිසා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් ඔබ්බට ගොස් ඇති ආකාරයක් දැකගත හැකිය.

 මෙහිදී යම් ප්‍රදේශයන්හී උද්ඝෝෂකයන් යතුරුපැදි භාවිතාකොට තැනින් තැනට ගොස් නිවාස හා වෙළඳසැල්වලට ගල්මුගුරු සහ පෙට්‍රල් බෝම්බ භාවිතා කොට පහරදීම් සිදුකර ඇති අතර, තවත් කණ්ඩායම් කිහිපයක් සංවිධානාත්මක ලෙස නිවාස මංකොල්ලකෑම් ද ඊයේ දිනයේදී සිදුකර ඇත. ඒ අතර මංකොල්ලකරුවන් විසින් උද්ඝෝෂණ සඳහා නිවසින් බැහැරව සිටින උද්ඝෝෂණකරුවන්ගේ නිවෙස් ද කොල්ලකෑම්වලට ලක්කර ඇති අවස්ථාද ඇති බව කණගාටුවෙන් වුවද දැනුම්දෙනු කැමැත්තෙමි. මහජනතාව ආරක්‍ෂා කිරීමට නිරතුරුවම කැපවී සිටින ආරක්‍ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාශය, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය සමඟ එක්ව මෙම උද්ඝෝෂණයන් නිරතුරුවම අධීක්‍ෂණය කරමින් පසුවන අතර, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිදුවන සාමකාමී උද්ඝෝෂණයන් අනුමත කලද, කිසිඳු ආකාරයක ප්‍රචන්ඩකාරී ක්‍රියාවක් සිදුනොවීමට වගබලා ගන්නා බව සහ කටයුතු කරන බව දැනුම් දීමට කැමැත්තෙමි. තවද සාමය ආරක්‍ෂා කිරීමටත් එවන් සිදුවීම්වලට සම්බන්ධවන අයවලුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ආරක්‍ෂක අංශ සහ ශ්‍රී ලංකා පොලිසිය පසුබට නොවන බව මින් අවධාරණය කර සිටිමි. රටේ ආරක්‍ෂක ලේකම්වරයා ලෙස මා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනතාවට අවශ්‍ය නම් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීම කරනවා විනා රජයේ සහ පුද්ගලික දේපල ගිනිබත් කරමින් සහ හානි කරමින් නොහැසිරෙන ලෙසත්ය. එමෙන්ම විවිධ අරමුණු සඳහා ප්‍රචන්ඩත්වයට ජනතාව උසි ගන්වන අයවලුන්ට නොරැවටෙන ලෙසත්ය.

අවසාන වශයෙන් ඔබ සියලු දෙනාටම සාමකාමී සුභ දවසක් වේවා යි ප්‍රාර්ථනා කරමි.