දිළිඳු පවුලකට යුද හමුදාවෙන් නව නිවසක්

අප්‍රේල් 08, 2022

පරාක්‍රමපුර තෝනිගල ප්‍රදේශයේ දිළිඳු පවුලක් සඳහා යුද හමුදා භට පිරිස් විසින් නව නිවසක් ඉදිකර එම පවුල වෙත භාරදීම පසුගියදා සිදු කරන ලදී.

‘සෞභාග්‍ය නිවාස වැඩසටහන’ යටතේ පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු මුල්‍ය ආධාර මත වන්නි ආරක්ෂක සේනාවට අයත් භට පිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සිදු කළ බව යුද හමුදාව පවසයි.

ඒ අනුව, සැමියාගේ අභාවයෙන් පසු දියණියන් දෙදෙනෙකු සමඟ නිසි සෙවණක් නොමැතිව දුෂ්කරතා විඳිමින් ජීවත් වූ පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි A.M ඉන්ද්‍රානි මහත්මියට මෙම නිවස හිමිවිය.

14 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස්ගේ තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් යුතුව යුද හමුදාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් මෙම නිවස ඉදිකරන ලද අතර නිවස භාරදීමේ අවස්ථාව සඳහා නිවාස ප්‍රතිලාභියා ඇතුළු දරුවන්, යුද හමුදා සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.