පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් ඇති වූ වැරදි මත ගැන ආරක්‍ෂක ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්

අප්‍රේල් 13, 2022
  • පුද්ගලයන් 735ක් අත්අඩංගුවට
  • චෝදනා 25,653ක් යටතේ පුද්ගලයන් 29 දෙනෙකුට එරෙහිව නඩු 27ක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 735 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයින් 79 දෙනෙකුට එරෙහිව චෝදනා 25,653ක් යටතේ නඩු 27ක් පවරා ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නිසි පරිදි සිදු නොවන බවට ඇතැම් පිරිස් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ රජය සහ අදාල ආරක්ෂක අංශ මෙම ත්‍රස්තවාදී ක්‍රියාව පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් අදාල පරීක්ෂණ දිගටම කරගෙන යන බවත්ය.

එම චෝදනාව තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ පදනම් විරහිත චෝදනා එල්ල කරමින් පරීක්ෂණ පවත්වන මෙම නිලධාරීන්ගේ නොපසුබට උත්සාහය හෑල්ලුවට ලක් කිරීම නොකල යුතු බවයි.

නීති නිලධාරීන් විසින් සියුම්ව අධ්‍යයනය කිරීමෙන් පසු නඩු පැවරීමට තුඩු දෙන බුද්ධි තොරතුරු රැස් කිරීම, එක්රැස් කරන ලද බුද්ධි අංශවලින් කරන ලද විමර්ශන ඇතුළු නිර්ණායකවල අදියර කිහිපයක් අනුගමනය කළ යුතු අතර, ඒ සියල්ලටම විශාල ලියකියවිලි, අධ්‍යයනය සහ නීතිය මගින් සාකච්ඡා කිරීම අවශ්‍ය වේ. එබැවින් මෙම සම්පූර්ණ ක්රියා පටිපාටිය සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බව ඔහු පැවසීය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න මහතා මේ අදහස් පළ කළේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට කරගෙන යන පරීක්‍ෂණ සහ මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ වැරදි මත පැහැදිලි කිරීම සඳහා අඟහරුවාදා (අප්‍රේල් 12) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

පුද්ගලයින් 735 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 196 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව සඳහන් කළ ඔහු සැකකරුවන් 81 දෙනෙකුට එරෙහිව ගම්පහ, මහනුවර, කුරුණෑගල, පුත්තලම, නුවරඑළිය සහ මඩකලපුව ඇතුළු දිවයිනේ විවිධ මහාධිකරණවල නඩු පවරා තිබෙන අතර කොළඹ සහ කෑගල්ල මහාධිකරණවල නඩු විභාගයන් පැවැත්වෙන බව ද සඳහන් කරන ලදී .

තවත් සැකකරුවන් 29 දෙනෙකු පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින බවත් 493 දෙනෙකු ඇප මත මුදා හැර ඇති බවත් ඔහු පැහැදිලි කළේය.

විමර්ශනවල ප්‍රගතියක් නොමැති බවට එල්ල වූ චෝදනා බැහැර කරමින් ජෙනරල් ගුණරත්න කියා සිටියේ වත්මන් රජය බලයට පත්වූ දා සිට පුද්ගලයින් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් 45 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි. පුද්ගලයන් 13 දෙනෙකු රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අතර 06 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති අතර 30 දෙනෙකුට ඇප ලබාදී තිබෙනවා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ අන්තවාදය සම්බන්ධයෙන් රට තුළ සහ විදේශයන්හි අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති අතර මෙම රජය බලයට පත් වූ දා සිට සෘජුවම විදේශ රාජ්‍ය බුද්ධි අංශ සමඟ කටයුතු කරමින් විවිධ රටවල රඳවා සිටි ශ්‍රී ලාංකිකයින් 52 ක් ආපසු ගෙන්වා ගැනීමට හැකි වී තිබෙන අතර ඔවුන් සම්බන්ධයෙන් දැනට පවතින විමර්ශනවලින් පසුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කළේය. ත්‍රස්තවාදී මහ මොළකරු සහරාන් හෂීම්ගේ අභිප්‍රාය සහ මතවාදය පැහැදිලි කරන වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කරමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මතුවිය හැකි ප්‍රශ්න රැසකට මෙම වීඩියෝවෙන් පිළිතුරු ලැබෙන බවයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් කණ්ඩායම් විසින් මෙම රජය වෙත එල්ල කරන ලද පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් කණගාටුවට පළකරන බවත්, මෙවැනි චෝදනාවලින් නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ සහ විමර්ශනවලට සම්බන්ධ වූ නීති නිලධාරීන්ගේ නොපසුබට උත්සාහයට අහිතකර බලපෑමක් ඇති කලහැකි බව ද පැවසීය.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් (විශ්‍රාමික), පොලිස්පති චන්දන වික්‍රමරත්න, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

මුද්‍රිත/විද්‍යුත් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර බොහෝ දෙනෙක් මාර්ගගත ක්‍රමය හරහා සැසියට එක් වූහ.