හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට යුද හමුදාවෙන් නව නිවසක්

අප්‍රේල් 13, 2022

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඉදිකරන ලද නව නිවසක් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වෙත පසුගියදා ප්‍රධානය කරන ලදී. ඒ අනුව යුද හමුදාවේ තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මෙම නිවස, ස්ථිර නිවසක් නොමැතිව තම පවුල සමඟ යාපනයේ මයිලඩි ප්‍රදේශයේ ජීවත් වූ රාසවල්ලන් තබෝරුබන් වෙත ලබා දුන් බව යුද හමුදාව පවසයි.

2021 ජූනි මස 24 දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් වූ ප්‍රතිලාභියා පුනරුත්ථාපනය කර නැවත සමාජගත කරනු ලැබු අතර ඒ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ස්ථිර නිවසක් නොමැතිව අපහසුතාවයට පත්ව සිටීම පිළිබඳ අවධානය යොමුකරමින්, යුද හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි පසුගිය නොවැම්බර් මස 03 දින මෙම පවුල වෙත නව නිවසක් ඉදිකරදීම සඳහා මුල්ගල් තැබූ බව එහි සඳහන් වේ.

10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් දානපතියකුගේ ආධාර මත මෙම නිවස ඉදිකරන ලද බව එහි සඳහන් වේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පසුගිය සඳුදා (11) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි යුද හමුදා මූලස්ථානයේ සිට මාර්ගගත තාක්‍ෂණය (zoom) ඔස්සේ  මයිලඩි ප්‍රදේශයේ ඉදිකරනු ලැබු නව නිවස විවෘත කිරීමේ අවස්ථාවට සම්බන්ධ වූ අතර යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, නිවස ඉදිකිරීම සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ විශ්‍ව නඩරාජා මහතා සහ ඔහුගේ භාර්යාව වන නඩරාජා මහත්මිය විසින් නව නිවසේ යතුර නිවාසලාභියා වෙත ප්‍රදානය කල බව යුද හමුදා මාධ්‍ය පවසයි.