රුපියල් මිලියන 6200 කට අධික වටිනාකමකින් යුත්
මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

අප්‍රේල් 13, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය එක්ව ඊයේ දින සවස් කාලයේ (අප්‍රේල් 12) ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300ක පමණ හා අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25ක පමණ තොගයක් රැගත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය පවසයි.

අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 6200 අධික බව විශ්වාස කෙරේ.

රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් බුද්ධි තොරතුරු මත ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සති දෙකක කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර මුහුදු තීරය ආවරණය වන පරිදි අඛණ්ඩ සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇති අතර සැක කටයුතු මෙරට බහු දින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කිරීමේදී සුක්‍ෂම ලෙස සඟවා තිබූ උර 13 ක අසුරන ලද මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට සමත් වී ඇති බව එහි සඳහන් වේ.

ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙකු සමඟ මෙම මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර ඊට අමතරව ඩිංගි යාත්‍රාවක්, කැබ් රථයක්, ත්‍රිරෝද රථයක් සහ එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 05 දෙනෙකු ද විමර්ශනවලදී අත්අඩංගුවට ගත් බව එහි සඳහන් වේ.

පසුගිය මාර්තු මස 26 වන දින බේරුවල ධීවර වරායෙන් බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් මෙම යාත්‍රාව පිටත්ව ගොස් ඇති අතර, ජාත්‍යන්තර මුහුදේ දී විදේශීය ජාවාරම් කරුවන් මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ලබා ගෙන මෙරටට ගෙන ඒමට උත්සහ කර ඇතැයි සැක කෙරේ.

සැකකරුවන් වයස අවුරුදු 23ත් 36ත් අතර වයසේ පසුවන හික්කඩුව, බූස්ස, කලවාන, බෙරිල්ලවත්ත සහ මොරගොඩ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.