නව එක්සත් ජනපද තානාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය සහ ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අප්‍රේල් 20, 2022

ශ්‍රී ලංකාව සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නව තානාපතිවරිය ලෙස පත් වූ ජූලී J. චන්ග් මැතිනිය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (අප්‍රේල් 20) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී හමුවිය.

නව එක්සත් ජනපද තානාපතිනිය පැමිණි අවස්ථාවේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා ඇයව උණුසුම් ලෙස පිළිගත්හ.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීම සහ ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙම සුහද හමුවේදී සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී රටේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව ද අමෙරිකානු නියෝජිතවරිය දැනුවත් කරන ලදී.

ජෙනරල් ගුණරත්න සහ එක්සත් ජනපද නියෝජිතවරිය ඇයගේ ප්‍රථම නිල හමුව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරු කර ගත්හ.

ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද තානාපතිනිය ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පෙබරවාරි 25 වැනිදා කොළඹ දී සිය අක්තපත්‍රය භාර දෙන ලදී.

අමාත්‍ය-උපදේශක නිලය සහිත ජ්‍යෙෂ්ඨ විදේශ සේවයේ වෘත්තීය සාමාජිකාවක් වන ඇය, ඉන්දු පැසිෆික් සහ බටහිර අර්ධගෝලය පුරා ජ්‍යෙෂ්ඨ තනතුරුවල සේවය කර ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්‍රධාන දේශපාලන/ආර්ථික නිලධාරිනී සුසෑන් වෝක් සහ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කමාන්ඩර් ට්‍රැවිස් කොක්ස් යන මහත්වරු ද සහභාගී වූහ.