ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹට පැමිණෙයි

අප්‍රේල් 30, 2022

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘Landing Ship Tank’ වර්ගයේ ‘Gharial’ නෞකාව ඊයේ (29) කොළඹ වරයට පැමිණි අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගනු ලැබීය.

මෙම නෞකාව රැඳී සිටින කාලය තුළ නාවික හමුදා දෙක අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් එහි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මීටර් 124.8 ක් දිග මෙම නෞකාවේ අණදෙන නිලධාරි ලෙස කොමාණ්ඩර් සුනිල් එස් පටිල් කටයුතු කරන අතර 170 ක පමණ නැව් මුළුවකගෙන් සමන්විත වේ.

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක්ද මෙම නෞකාව මඟින් රැගෙන ආ බව නාවික හමුදාව සඳහන් කරයි.

‘INS Gharial’ නෞකාවේ අණදෙන නිලධාරී ඊයේ සවස නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා හමුවිය.

මෙම නෞකාව 2022 මැයි 01 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිත බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසිය.