ජනාධිපති තුමන්ගේ මැයි දින පණිවුඩය

අප්‍රේල් 30, 2022

ජාත්‍යන්තර කම්කරු දිනය එළැඹ ඇත්තේ ලෝකයේ කම්කරු ප්‍රජාව දැවැන්තම අභියෝගයකට ලක්ව සිටින අවස්ථාවකය.

අපේ රටේ පසුගිය වසර තුන තුල වඩාත් අභියෝගයට ලක්වූයේ ද කම්කරු ප්‍රජාවය. ඒ සෑම අභියෝගයක් හමුවේ නොසැලී සියල්ල විඳ දරා ගනිමින්, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කැප වූවෝ ද ඔවුහුමය. ඔවුන් හමුවේ දිනෙන් දින එල්ල වන බලපෑම් වර්තමානයේ වඩාත් තීව්‍රරය. ඉන් ජනතාව මුදා ගැනීමට සහ පවතින පීඩාකාරී ස්වභාවය අවම කර ගැනීම සඳහා රජයක් වශයෙන් අප විවිධ එළැඹුම් වලට යොමු වෙමින් සිටී.

විදේශ විනිමය හිඟ වීම නිසා නිර්මාණය වූ ගැටලු රාශියකි. ඒ සියල්ල කළමණාකරණය කිරිම වත්මන් ගැටලු සමනය කර ගැනීමට ඇති මගය.

පැන නැගුණු අයහපත් තත්ත්වය කවුරුන් විසින් සිදුකළේ ද යන්න පිළිබඳ පසු විපරම් කරනු වෙනුවට මේ මොහොතේ අප කළ යුතු වනුයේ ජනතාවට කඩිනමින් සහන සැලසිය හැකි වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමු කිරිමය. එසේම වඩාත් උචිත, කාර්යක්‍ෂම, වැඩපිළිවෙළකට ගොස්  ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමයි.

රාජ්‍ය  නායකයා වශයෙන් ජනතාවගේ පාර්ශවයේ සිට මා සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ට එක්ව කටයුතු කිරිමට ආරාධනා කළේ මෙරටේ ජනතාවට වඩාත් යහපත් අනාගතයක් උදා කිරිමේ වගකීම දරමිනි. සෑම තත්පරයකම ජනතාවගේ පීඩාව අවම කිරිම සඳහා විසඳුම් දිය හැකි ක්‍රමවේදයන්ට පිවිස, පවතින අර්බුද වලට විසඳුම් සෙවීම අපගේ ඉලක්කයය.

මෙවර කම්කරු දිනයේදි සියලු දෙනා එක්ව, පවතින අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණිමට සියලු  දේශපාලන පක්ෂ නායකයන්ට මම නැවතත් ආරාධනය කරමි.

වැඩ කරන ජනතාව වෙනුවෙන් දේශපාලනය පසෙක තබා අරගලය ජනහිතකාමී විප්ලවීය පරිවර්තනයක් සහිත සුභ දිශානතියට යොමු කිරිමට එක්වන ලෙසත් කම්කරු ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ගෝලීය ශ්‍රම බලවතුන් වන කම්කරු සහෝදරත්වය, මූර්තිමත් කරන ලෝක කම්කරු දින සැමරුම සඳහා මා ඔබ සමඟ එක්වන්නේ එකී අපේක්‍ෂා සමඟය.

ගෝඨාභය රාජපක්ෂ

 

අනුග්‍රහය - www.pmdnews.lk