තවත් හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වෙත යුද හමුදාවෙන් නිවසක්

මැයි 05, 2022

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වෙත නව නිවසක් සැදීම සඳහා මුල්ගල තැබීම පසුගියදා යාපනයේ දී සිදුකරන ලදි.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 551 වන බලසේනාවේ භට පිරිස් විසින් පේදුරුතුඩුව, පුලෝලි ප්‍රදේශයේ පදිංචි හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු සඳහා යෝජිත නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තැබූ බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් යාපාගේ මඟපෙන්වීම මත 16 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් පුද්ගලික පරිත්‍යාගශීලියෙකුගෙන් අවශ්‍ය අරමුදල් සපයා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව එහි සඳහන් වේ.

ඒ අනුව, තංගරාසා ධර්මරාණි මහත්මිය සහ කුමාරකුලසිංහම් ප්‍රශාන්තන් මහතා වෙත මෙම නිවස ලබාදීමට නියමිතයි.

551 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චින්තක වික්‍රමසිංහ, පොලිස් නිලධාරීන් සහ නිවාස ප්‍රතිලාභියාගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් හින්දු ආගමික වතාවත්වලට අනුකූලව මෙම මුල්ගල් තැබීම සිදුකෙරිණි. 

Sinhala.