නීති විරෝධී මෝර කොටස් තොගයක් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

මැයි 06, 2022

නීති විරෝධී ලෙස ලබාගත් මෝරුන්ගේ කොටස්, ධීවරයින් හය දෙනෙකු සහ බහුදින ධීවර යාත්‍රාවක් මීගමුව ධීවර වරායේදී ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, තහනම් මෝර වරල් සහ වියලන ලද මෝර මත්ස්‍ය කොටස් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.

බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෝර වරල් 100 ක් (කිලෝ ග්‍රෑම් 8 ක් පමණ) සහ වියළි මෝර මස් කිලෝග්‍රෑම් 170 ක් මෙලෙස අත්අඩංගුවට ගත් බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ 1996 අංක 02 දරණ නියෝගයේ අංක 3(i) ට අනුව ඕනෑම මෝර විශේෂයක කොටස් රඳවා තබාගැනීම, ප්‍රති නැව්ගත කිරීම හෝ ගොඩබෑම වරදකි.

අත්අඩංගුවට ගත් නීති විරෝධී ද්‍රව්‍ය සමඟ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව ධීවර පරීක්‍ෂක වෙත භාරදුන් බවද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.