ජාතික රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ

මැයි 07, 2022

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු සැමරුම් කොඩිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක
ජනාධිපති, සේනාධිනායක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැළඳවීම අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) විසින් ප්‍රථම රණවිරු සැමරුම් කොඩිය අතිගරු ජනාධිපතිතුමන් වෙත පළඳවනු ලැබීමත් සමඟ රණවිරු සැමරුම් මාසයේ ඇරඹුම සනිටුහන් කරන ලදී.

දශක 03කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස්, නිවහල් දේශයක් වෙනුවෙන් කැපවූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරේ.

ශ්‍රී ලාංකීය දේශයේ සැබෑ නිදහසේ හිමිකරුවන් අනුස්මරණය කරනු වස්  ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත රණවිරු සැමරුම් කොඩිය පිළිගැන්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. එමගින් දේශයේ උත්තරීතර රණවිරුවන් විසින් තම මව්බිමේ භෞමික අඛණ්ඩතාවයත්, ඒකීයභාවයත් සුරුකීම උදෙසා තම ජීවිත පරිත්‍යාගයෙන් සිදුකරන ලද උත්තරීතර කැපකිරීම අනුස්මරණය කරමින් ඔවුන් හට ගෞරව දැක්වීම  මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ ලේකම්, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න මහතා ද මෙම අවස්ථාවට එක් විය.