ගුවන් හමුදාවෙන් පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව

අගෝස්තු 23, 2019

 ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සුභසාධන ව්‍යාපෘතිය යටතේ පාසැල් ළමුන් සදහා අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමා ඇත. ගුවන් හමුදා මාධ්‍යට අනුව බ්‍රහස්පතින්දා (අගෝස්තු 22) දින ගුවන් හමුදා මූලස්ථානයේ දී පැවති උත්සවයේදී ගුවන් හමුදාවේ සේවයේ නියුතු අයගේ හා ගුවන් හමුදාවේ සේවයේ නියුතු සිවිල් අයවලුන්ගේ තෝරාගත් ළමුන් හට ශිෂ්‍යත්ව ප්‍රධානය සිදුකරන ලදී.

මෙම සුභසාධන වැඩසටහන යටතේ ළමුන් 23 දෙනෙකුට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමන ලදී. 2018 වර්ෂයේ අපොස (සා/පෙ) විභාගයට පෙනී සිට “ඒ” සාමාර්ථ නවයක් ලබා ගැනීමට සමත් වූ තවත් සිසුන් 11 දෙනෙකු හට ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් උපහාර හා මූල්‍ය ප්‍රතිපාදන පිරිනමන ලදී.

මෙම උත්සවය සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය මයුරි ප්‍රභාවී ඩයස් මහත්මිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.