යුද හමුදාව විසින් යාපනයේ ඉදිකළ ‘CIMIC’ උද්‍යානය ජනතා අයිතියට

මැයි 09, 2022

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිවිල් වැසියන්ට ක්‍රීඩා, විනෝදාස්වාදය සහ අධ්‍යාපනික සහාය ලබාදීම සඳහා යාපනය කෝපායි ප්‍රදේශයේ ඉදිකරන ලද සිවිල්-හමුදා සහයෝගීතා (CIMIC) උද්‍යානයක් ඊයේ (මැයි 8) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ජනතාව වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම උද්‍යානය, ශාරීරික පුහුණු ක්‍රියාකාරකම් සිදු කිරීමේ පහසුකම්, විවේක හා විනෝදාස්වාද පහසුකම්, ගෘහස්ථ පාපන්දු ක්‍රීඩා පිටි පහසුකම, ළමුන් සඳහා පුස්තකාලය සහිත අධ්‍යාපනික ආධාරක ඒකකයක් සහ සෞඛ්‍ය සහ වෛද්‍ය ආධාර පහසුකම් ආදියෙන් සමන්විත වන බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පහසුකම, සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කිරීමේ විලාසිතාමය ප්‍රවණතාවක් වන අතර, හමුදාව සහ ප්‍රජාව අතර සහයෝගය සහ විශ්වාසය වර්ධනය කිරීමේ මාධ්‍යයක් ලෙස සමාජයට ඔවුන්ගේම කායික හා මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට ඉඩ සලසන බව යුද හමුදාව පවසයි.

දිවංගත ජේ.එස්. රාජරත්නම් මහතාගේ පවුලේ සාමාජිකයන්, පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ උප විදුහල්පති සහ තවත් දානපතියන් කිහිප දෙනෙකු මේ සඳහා ප්‍රධාන වශයෙන් මුල්‍යාධාර ලබා දුන් අතර 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම උත්සව සඳහා සම්බන්ධ වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව තහවුරු කළේය.