කණුගහවැව ආදර්ශ ගම්මානයේ ආරක්ෂාවට අලි වැටක්

මැයි 12, 2022

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කණුගහවැව ආදර්ශ ගම්මානයේ ආරක්ෂාව වෙනුවෙන් කිලෝමීටර් 14ක් දිග අලි වැටක් ඉදිකිරීම සම්පූර්ණ කර පසුගිය මැයි මස 10 වන දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි මොරවැව ගුවන් හමුදා කඳවුර විසින් මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කල බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

මෙමගින් පවුල් 314 කට අධික සංඛ්‍යාවකට, ඔවුන්ගේ දේපළවලට සහ කුඹුරුවලට වන අලි උවදුරට එරෙහිව ආරක්ෂාවක් සපයනු ඇත.

අලි මිනිස් ගැටුම අවම කරමින් ග්‍රාමීය ගොවි ප්‍රජාවගේ අස්වනුවලට දිගින් දිගටම සිදුවන හානියද මෙම වැඩපිළිවෙළ මගින් මගහරවා ගැනීමට හැකි වනු ඇත.

මොරවැව ගුවන් හමුදා කඳවුරේ භට පිරිස් විසින් සිදු කල මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා ගත වූයේ මාස හතරක් පමණක් බව ගුවන් හමුදාව වැඩිදුරටත් පැවසීය.