මගී ප්‍රවාහන සේවය සදහා නාවික හමුදාව බෝට්ටුවක් නිෂ්පාදනය කරයි

අගෝස්තු 23, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද මගී බෝට්ටුවක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් නිල වශයෙන් ගරු. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බ්‍රහස්පතින්දා (අගෝස්තු 22) දින කොළඹ කොටුව ලේක් හවුස් ආයතනය ඉදිරිපිට මැකලම් ගේට්ටුව ආසන්නයේ ඉදිකර ඇති බෝට්ටු නැවතුම් අංගනයේදී භාර දෙන ලදී. නාවික හමුදා මාධ්‍යට අනුව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් ‍ආරම්භ කර ඇති මගී බෝට්ටු සේවාව ජල ආශ්‍රිත මගී ප්‍රවාහනය සදහා භාවිතා කෙරේ.

වැලිසර නාවික බෝට්ටු තැනිමේ අංගනය විසින් බෝට්ටුව දේශීයව නිපදවා ඇති අතර මෙමගින් වරකට මගීන් 50 දෙනෙකුට ප්‍රවාහන පහසුකම් සැපයිය හැකිය. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව හා ඒකාබද්ධව යුනියන් පෙදෙස බෝට්ටු අංගනයේ සිට මැකලම් බෝට්ටු අංගනය දක්වා පවත්වාගෙන යනු ලබන මගී ප්‍රවාහන බෝට්ටු සේවයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සියළුම ආරක්ෂක පියවරයන් අනුගමනය කරයි. බේරෙ වැව ආශ්‍රිතව දියත් කරන ලද මෙම නව මගී ප්‍රවාහන බෝට්ටු සේවා ව්‍යාපෘතිය නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා විසඳුමක් වනු ඇත.