ගංවතුර තත්වයන්ට මුහුණදීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම්

මැයි 15, 2022

•    අධික වර්ෂාපතනයක් ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.
•    ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ගුවන් හමුදාව සූදානම්.

මේ වනවිට පවතින වැසි බර කාලගුණ තත්වය තවදුරටත් පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන අතර, එම තත්වයන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බස්නාහිර සහ දකුණු පළාත්වල ප්‍රදේශ කිහිපයක සහන කණ්ඩායම් 10ක් යොදවා ඇත.

බටහිර නාවික විධානය විසින් රත්නපුර ප්‍රදේශයේ සහන කණ්ඩායම් 04ක් සහ කළුතර බුලත්සිංහල සහ පරගොඩ ප්‍රදේශවලට එක් කණ්ඩායම බැගින් ද, දකුණු නාවික විධානය විසින් ගාල්ල තවලම සහ නාගොඩ ප්‍රදේශවලට කණ්ඩායම් 02 බැගින් ද යොදවා ඇති බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි. මෙම කණ්ඩායම් වලින් කිහිපයක් දැනටමත් ප්‍රදේශ කිහිපයක විපතට පත් ජනතාවට උපකාර කරමින් සිටින බවද එහි සඳහන් වේ.

මීට අමතරව, හදිසි ආපදා තත්වයන්ට මුහුණ දෙන ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා නාවික හමුදාව බස්නාහිර පළාතේ සහන කණ්ඩායම් 18ක්, දකුණු පළාතේ කණ්ඩායම් 06ක් සහ වයඹ නාවික විධානයෙහි කණ්ඩායම් 18ක් සුදානම් කර ඇත.

මේ අතර, හඳුනාගත් දිස්ත්‍රික්ක 6 ක සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සැපයීම සඳහා ගුවන් යානා සහ ගලවා ගැනීමේ පිරිස් යෙදවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද සූදානම්ව සිටී. රත්මලාන, කටුනායක, හිඟුරක්ගොඩ සහ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරුවල ගුවන් හමුදාවට අයත් ගුවන් යානා සහ හෙලිකොප්ටර් සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය ලබාදීමට සූදානම්ව තබා ඇත.

දිවයිනේ නිරිතදිග කොටසේ (බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැක. බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව එහි සඳහන්.

උතුරු පළාතේ සහ අනුරාධපුර, හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 40-50 අතර තද සුළං බලාපොරොත්තු විය හැක.