නාවික හමුදා “රණරිසි” නෞකාව මගින් රෝගී ධීවරයෙකු ගොඩබිමට රැගෙන එයි

මැයි 16, 2022

නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ධීවර රැකියාවේ නිරත වෙමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාවක් වන ‘සින්දූර් 04’ හි ධීවරයෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඊයේ (මැයි 15) සවස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එනු ලැබීය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් හදිසි ආපදා තත්වය පිළිබඳව දැනුම් දීමෙන් පසුව රෝගී ධීවරයා ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නැගෙනහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් වන ‘රණරිසි’ නෞකාව යවා ඇත.

මඩකලපුව වාලච්චේන සිට නාවික සැතපුම් 18 ක් (කිලෝමීටර් 33 පමණ) දුරින් වූ මුහුදේ සිට රෝගියා වාලච්චේන ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසුව ප්‍රතිකාර සඳහා ප්‍රාදේශීය මූලික රෝහල වෙත රැගෙන ගිය බවද එහි සඳහන් වේ.