හමුදා සාමාජිකයන්ගෙන් රෝගීන් සඳහා ලේ දන්දීමක්

මැයි 18, 2022

ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා නාවික හමුදා භට පිරිස් ඔවුන්ගේ ප්‍රජා සේවා ව්‍යාපෘතිවල කොටසක් ලෙස ලේ දන්දීමේ ව්‍යාපාර මාලාවක් සංවිධානය කරන ලදි.  

ඒ අනුව, 2566 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර සහ දකුණු නාවික විධානයන් විසින් ලේ දන්දීමේ වැඩසටහන් පසුගියදා සංවිධානය කරන ලද අතර, එහිදී නාවික හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ලේ දන් දුන් බව නාවික හමුදාව පවසයි.

නැගෙනහිර නාවික විධානය විසින් ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස හි පෙර පාසලේ සහ දක්ෂිණ නාවික විධානය විසින් ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ හිදී පවත්වන ලද ලේ දන්දීමේ වැඩසටහන්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සහ හම්බන්තොට මහ රෝහලේ රුධිර සංචිත පවත්වාගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වූ බව නාවික හමුදාව තහවුරු කළේය.

මේ අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස් විසින් පසුගියදා කල්ලඩි ශිවානන්ද විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පවත්වන ලද ලේ දන්දීමේ වැඩසටහනකදී මඩකලපුව ශික්ෂණ රෝහලේ රෝගීන් සඳහා ලේ පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ශෙවාන්ත් කුලතුංගගේ උපදෙස් පරිදි නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 23 වන සේනාංකයේ සහ 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් සමග මෙම වැඩසටහන පැවැත්වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.