අතිගරු ජනාධිපති තුමන් හා සන්නද්ධ හමුදා සේනාධිනායක තුමන්ගේ රණවිරු දින පණිවුඩය

මැයි 18, 2022

මාතෘ භූමියේ නිදහසත්, භෞමික අඛණ්ඩතාවත් රැක දුන් වීරෝදාර රණවිරුවා කුමන තත්ත්වයක් අබිමුව වුව ද අපට අමතක නො වේ. ඒ ඔවුන්ගේ කැපකිරීම්වල ජීව ගුණයට අප සදා ගරු කරන බැවිනි. එහෙයින් මෙවර ද ජාතික රණවිරු දිනය අප සමරන්නේ රණවිරුවා ජාතික අභිලාෂයන් වෙනුවෙන් කළ අපරිමිත පරිත්‍යාගයන් සිහිපත් කරමිනි.

වර්තමානයේ මුහුණ දී ඇති අර්බුදකාරී ස්වභාවය අප කිසිවෙක් අපේක්ෂා කළ තත්ත්වයක් නො වේ. ආර්ථික අර්බුදය දේශපාලන හා සමාජීය ව්‍යාකූලත්වයක් කරා විසිරී තිබේ. කුමන තත්ත්වයක් මත වුව ද මේ රටේ ස්වෛරීභාවය සහ නිදහස වෙනුවෙන් වූ ප්‍රතිපත්තිය ලඝු කොට සැලකීමට අප කටයුතු නො කරනු ඇත. ඒ අන් සියල්ලට වඩා ඉහළින් මාතෘ භූමිය රැක ගැනීමේ අභිලාෂය පවතින නිසා ය.

අපේ වීරෝදාර රණවිරුවෝ යුද සාපය නිමා කොට රටට සාමය උදා කළේ මානුෂීය මෙහෙයුමෙනි. වෛරය, ක්‍රෝධය හා පළිගැනීම ඒ තුළ නො වී ය. ඒ නිසා ම සාමය උදා වූ මාතෘ භූමියේ ජාතිවාදයට හෝ වෙන යම් අන්තවාදයකට ඉඩක් නැත. අප එය සලකන්නේ ශ්‍රී ලාංකේය සමාජය තුළ වූ සුවිශේෂී අගනාකමක් ලෙස ය.

ඉතිහාසයේ අප බොහෝ අභියෝගකාරී යුග සහ අවස්ථා පසු කර තිබේ. ඒ සෑමවිට ම දේශමාමකයෝ පෙරමුණ ගත් බව අමතක නැත. රටේ සමස්ත රණවිරුවා නියෝජනය කරනුයේ මෙකී සමූහයයි. එබැවින්, වර්තමානයේ පවතින අභියෝගය දෙස වඩා අවධානයෙන් හා විමසිල්ලෙන් බලා කටයුතු කිරීමේ වගකීම ඔබට ඉතිහාසය විසින් පවරා ඇති බව ද සිහිපත් කළ යුතු ය.

ආර්ථික හා දේශපාලන අර්බුදය දඩමීමා කර ගනිමින් ජාතික ආරක්ෂාවට බලපෑම් කිරීමට විවිධ දෙස්, විදෙස් කණ්ඩායම් හා පුද්ගලයින් මාන බලන බවට සැක නැත. අප එය එක් ව පරාජය කළ යුතු ම ය. අභීත රණවිරුවා රට වෙනුවෙන් කළ කැපවීම් ආරක්ෂා වන්නේ එවිට ය.

නිදහස් දේශයක් වෙනුවෙන් ආබාධිත වූ සහ ජීවිත කැප කළ අභීත රණවිරුවන්ට ජාතික රණවිරු දිනය වෙනුවෙන් මගේ ගෞරවයත්, උත්තමාචාරයත් පුද කරමි.

අනුග්‍රහය - www.president.gov.lk