ජාතික රණවිරු සැමරුම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

මැයි 19, 2022

13 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම සන්නද්ධ හමුදා සේනාධිනායක හා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද (මැයි 19) දින උදෑසන අභිමානවත්ව හා ඉතා චාම් අයුරින් පැවැත්විය.

තිස් වසරකට අධික කාලයක් පුරා මෙරට පැවති කුරිරු යුද්ධය නිම කරමින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවන් විසින් ත්‍රස්තවාදය පරාජය කොට 2009 මැයි මස 18 වන දින මෙරටට සාමය උදාකර දෙන ලදි. ත්‍රස්තවාදින් සමඟ පැවති එම සටනේදී ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක බලකායේ වීරෝධාර රණවිරුවන් විශාල ප්‍රමාණයක් මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදු අතර, තවත් විශාල ප්‍රමාණයක් ආබාධිත තත්වයට පත්විය.

ඒ අනුව රටට සාමය උදාකරලීම සඳහා උත්තරීතර කැප කිරීම් කළ සියලුම රණවිරුවන් හා ඔවුන් සිදුකළ විශිෂ්ඨ සේවය මෙහිදී ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනු ලැබීය.

රණවිරු සේවා අධිකාරිය විසින් මෙම රණවිරු සැමරුම් උත්සවය සංවිධානය කරන ලද අතර, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක නිරත වීම, ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදුණු රණවිරුවන් ඇගයීම, ජාතික ගීය ගායනා කිරීම හා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම මෙම අවස්ථාවේදී සිදුවිය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, සිවිල් ආර‍ක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ලමා‍හේවාගේ (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ඇතුළු ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.