එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා යුද හමුදා භට පිරිස් 100ක්

මැයි 24, 2022

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් සියදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (මැයි 23) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ලදී.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම භට පිරිස් වෙත සිය සුභ පැතුම් එක් කළ බව යුද හමුදාව සඳහන් කළේය.

යුද හමුදාවේ රෙජිමේන්තු 12 ක භට පිරිස් 243 දෙනෙකුගෙන් සමන්විත මාලි බලා පිටත්ව යන සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමේ (IV අදියර) අණදෙන්නා ලෙස කර්නල් චන්දන ජයමහ කටයුතු කරයි.

ගැමුණු හේවා බළකාය, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය , ශ්‍රී ලංකා සංඥා බළකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකාය සහ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකාය යන රෙජිමේන්තු වලට අයත් නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම කණ්ඩායම සඳහා ඇතුලත් වේ.

මෙම අවස්ථාව සඳහා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයින් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින ලදී.