වැසි සහිත කාලගුණය තවදුරටත්

මැයි 31, 2022

•    නාවික හමුදාව සබරගමුව සහ දකුණු පළාත්වල සහන කණ්ඩායම් යොදවයි

අද (මැයි 31) දින කාලගුණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ නිවේදනයට අනුව පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපය සඳහා පැවතිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම 5.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව පවතින වැසි සහ සුළං තත්වය අද සහ ඉදිරි දින කිහිපයේදී තරමක් දුරට වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැක. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.   

මේ අතර සබරගමුව සහ දකුණු පළාත්වල ගංවතුර අවදානම් ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහන කණ්ඩායම් 06ක් ස්ථාන කිහිපයක යොදවා තිබේ. නාවික හමුදා කණ්ඩායම් හතරක් රත්නපුරයට සහ දෙකක් තවලමට යොදවා ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහන කණ්ඩායම් 29ක් හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා බස්නාහිර (03), දකුණ (8) සහ වයඹ (18) නාවික විධානයන් හි සූදානමින් තබා ඇත.