නාවික හමුදා සහන කණ්ඩායම් තවදුරටත් ක්‍රියාත්මකයි

ජුනි 01, 2022

වර්ෂාවත් සමග ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහන කණ්ඩායම් රැසක් යොදවා ඇත.

නාවික හමුදා මාධ්‍ය ආරංචි මාර්ග පවසන පරිදි දැනටමත් බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ගංවතුර අවදානම් ප්‍රදේශවල සහන සේවා කණ්ඩායම් 13ක් නියැලී සිටිති.

මෙම සහන කණ්ඩායම් රත්නපුර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ගංවතුර තර්ජනයට ලක්ව ඇති පහත් බිම්වල ජනතාවට සහන සලසති.

නාවික හමුදාව බටහිර නාවික විධානයට අයත් සහන කණ්ඩායම් කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ, බදුරලිය, බුලත්සිංහල සහ පැලවත්ත වෙත සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, දෙල්ගොඩ, අයගම සහ මුවාගම යන ප්‍රදේශවලට යවා ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, හිනිදුම, නාගොඩ සහ මාපලගම ප්‍රදේශවල අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා තවත් සහන කණ්ඩායම් කිහිපයක් දක්‍ෂිණ නාවික විධානය මඟින් කඩිනමින් ක්‍රියාත්මක කර ඇති බව එහි සඳහන් වේ.

කළුතර පරගොඩ සහ කුඩලිගම ප්‍රදේශ සහ ගාල්ල හිනිදුම යන ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයන් ඇති වී ඇති බැවින් සාමාන්‍ය පෙළ විභාගයට සහභාගීවන සිසුන්හට ද සහන කණ්ඩායම් සහාය වෙමින් සිටින බව නාවික හමුදාව පවසයි.

බස්නාහිර, දකුණ සහ වයඹ නාවික විධානවල අතිරේක නාවික සහන කණ්ඩායම් 40ක් හදිසි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා යෙදවීමට සූදානම්ව සිටිති.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව අද (ජුනි 01) උදෑසන බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව පළාතේ සහ කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.40ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අනාවැකිය වැඩිදුරටත් සඳහන් කරයි.