නව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වැඩ භාර ගනී

ජුනි 01, 2022

ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ 24 වැනි යුද හමුදාපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර (ජුනි 1) යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති නිල උත්සවයකදී වැඩ භාර ගන්නා ලදි.

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ලියනගේ වෙත ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

අනතුරුව ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් නව පදවි ප්‍රාප්තිය සනිටුහන් කිරීමේ ලියවිල්ලට යුද හමුදාපති කාර්යාලයේදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අත්සන් තැබූ බව යුද හමුදා මාධ්‍ය සඳහන් කළේය.

එම අවස්ථාවට පැමිණ සිටි සර්ව ආගමික පූජකවරුන්ගේ ආශිර්වාදය නව යුද හමුදාපතිවරයා වෙත පිළිගන්වන ලදි.

ලුතිනන් ජෙනරල් ලියනගේ මාතලේ විජය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

වසර 35ක කීර්තිමත් යුද දිවිය තුළ ඔහු අණ, මාණ්ඩලික සහ උපදේශක තනතුරු රැසක් දරා ඇති අතර, යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස ද කටයුතු කළ බව යුද හමුදාව තහවුරු කළේය.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද හමුදාධිපතිතුමන් වෙත සුභ පැතුම් එක් කිරීමට පැමිණ සිටියහ.