ශක්තිමත් ආරක්‍ෂක ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යයි - ආරක්‍ෂක ලේකම්

ජුනි 02, 2022

රටකට ජාතික ආරක්‍ෂාව සඳහා වන ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීමට නම්, රටේ ආරක්‍ෂක යාන්ත්‍රනය පිළිගැනීමට සහ ජනතා අභිලාෂයන් ආරක්‍ෂා කිරීමට වගකීම සහ වගවීම යන දෙකම ආමන්ත්‍රණය කරන ශක්තිමත් ආරක්‍ෂක ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසයි.

ජාතික ආරක්‍ෂක තත්ත්වය අවදානමට ලක්විය හැකි, අවිනිශ්චිත, සංකීර්ණ සහ අපැහැදිලි ස්වභාවයක් ගන්නා බැවින්, විවිධ ආකාරයෙන් සහ විශාලත්වයන්ගෙන් මතුවිය හැකි තර්ජන තක්සේරු කිරීම සඳහා දේශපාලන සහ ආරක්‍ෂක තත්ත්වය වැනි ප්‍රධාන සාධක පිළිබඳ නිරන්තර හා අඛණ්ඩ තක්සේරුවක් සහ විශ්ලේෂණයක් අත්‍යවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අද (ජුනි 2) පැවති ‘ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක  ප්‍රතිපත්තිය: අතීතය, වර්තමානය සහ අනාගතය’ යන තේමාව යටතේ සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ජෙනරල් ගුණරත්න මෙම අදහස් පළ කළේය.

විදේශයන්හි සිටින එල්ටීටීඊ හිතවාදීන් සහ එහි රහසිගත සහායක කොටස් දේශීයව සිටීම නිසා එල්ටීටීඊයේ ඉල්ලීමක් ලෙස පුරෝකථනය කළ බෙදුම්වාදය සැලකිය යුතු තර්ජනයක් බව දේශීය ආගමික අන්තවාදයට නියත වශයෙන්ම බලපාන ජාත්‍යන්තර අන්තවාදය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ය.

ශ්‍රී ලංකා රජයට එරෙහි ඔවුන්ගේ ක්‍රියාවන් අනුව සහ මානව හිමිකම් චෝදනාවල මෑත කාලීන වර්ධනයන් සමඟ එම කොටස් නිරන්තරයෙන් බාහිර රජයන්ගෙන් සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගෙන් සැලකිය යුතු ආධාර ලබාගැනීමට නැඹුරු වන බව මනාව පැහැදිලි වේ. තවද රජයට එරෙහිව මෑත කාලීනව රටේ ඇතිවූ වර්ධනයන් සහ නීතියේ ආධිපත්‍යයට වැඩි තර්ජනයක් පෙන්නුම් කරන සිදුවීම්වලට අදාළව සිදුවූ සිදුවීම් මේ සම්බන්ධයෙන් බැහැර කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

නිරන්තරයෙන් වෙනස් වන ආරක්‍ෂක තත්ත්වයන්ට සහ ඵලදායී ලෙස ප්‍රතිචාර දක්වන ආරක්‍ෂක සංස්කෘතියක් ඇති කිරීම සඳහා ශක්තිමත්, අවශ්‍යතාවයන්ට අනුව ගැලපිය හැකි සහ පුළුල් ආරක්‍ෂක ප්‍රතිපත්තියක් අනිවාර්ය බව ඔහු ප්‍රකාශ කළේය.

සමාජයේ සිදුවන සංවිධානාත්මක අපරාධ නොසලකා හැරීමකට ලක්වුවහොත් ඒවා සමාජ සංහිඳියාව බිඳදමා සමාජීය හා ආර්ථික වශයෙන් අස්ථාවර කරන බවත්, අන්තර්ජාල සහ තොරතුරු පද්ධතිවලට එල්ල වන තර්ජන සහ පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ සහ මුදල් විශුද්ධිකරණය වැනි සංවිධානාත්මක අපරාධවල පවතින ප්‍රවණතාවයන් ගැනත් සඳහන් කරමින් ඔහු කියා සිටියේ ය.

පසුගිය දශක දෙක තුළ රට තුළ ඇති වූ තර්ජනවල වෙනස්කම් පිළිබඳව සිහිපත් කරමින් අභ්‍යන්තර ආරක්‍ෂක ගැටළු, ත්‍රස්තවාදය, කොවිඩ්-19 වසංගතය සහ පාලන තන්ත්‍රයට එරෙහි නවතම නැඟිටීම පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා සිය දේශනය අතරතුර තම අවධානය යොමු කළේය.

මෙවැනි පෙර නොවූ විරූ අභියෝග නිසා ‘ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්තියක’ ශක්තිමත් පදනමක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව මතුව ඇති බවත්, රටට එරෙහිව මතුවන ව්‍යසනයන් වැලැක්වීම සඳහා කල් ඇතිව අනර්ථකාරී ප්‍රතිවිපාකවලට එරෙහිව ප්‍රතික්‍රියා ආරම්භ කිරීමට ජාතික ආරක්‍ෂක යාන්ත්‍රණයේ වගකීම අවධාරණය කරමින් ඔහු වැඩිදුරටත් පැවසීය.

ආරක්‍ෂක අංශයේ අන්තර් ක්‍රියාකාරීත්වය ගොඩනැගීම මගින් ශක්තිමත් ආරක්‍ෂක ප්‍රතිපත්ති රාමුවක් පිහිටුවීම සඳහා එහි සංවර්ධන ක්‍රියාවලියේදී යම් යම් මූලධර්ම පිළිපැදිය යුතු අතර, ආරක්‍ෂක ගැටළුවල විශාලතම පරාසය ආවරණය කිරීම සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් සිදුකිරීම හොඳම ක්‍රමය බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම සම්මන්ත්‍රණය අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කර ඇති බවත්, රටේ ආරක්‍ෂක ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ ක්ෂේත්‍රවල ජාතික වෘත්තිකයන් එක්රැස් කිරීමට හොඳම අවස්ථාව සකසන බවත් ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ප්‍රයත්නය අගය කරමින් ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විසින් පිළිගැනීමේ දේශනය පවත්වන ලද අතර, මහාචාර්ය රොහාන් ගුණරත්න විසින් උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන ලදි.

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ජෙරාඩ් ද සිල්වා, ජාතික විශ්ව විද්‍යාලවල නියෝජිතයින්, නාවික හා ගුවන් හමුදාපතිවරුන්, ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ, ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය සහ එවැනි අනුබද්ධ ආයතන ප්‍රධානීන්, ආරාධිත කථිකයින්, විද්වතුන්, විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍රීය හා පරිපාලන කාර්ය මණ්ඩලය සහ සිසුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.