ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් දින පහක තෙල් කාන්දු ප්‍රතිචාර වැඩමුළුවක්

ජුනි 06, 2022

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් දින පහක් පුරා පැවැත්වෙන ‘Oil Spill Response Workshop and Exercise’ හි සමාරම්භක උත්සවය අද (ජුනි 6) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපතිනි අතිගරු ජූලි චන්ග් මහත්මිය සහභාගී වූ අතර ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක මහතාද සහභාගී විය.

සමුද්‍රීය පාරිසරික අභියෝග අවම කිරීම සහ ප්‍රමාණවත් තෙල් කාන්දු ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍යය සහ අනෙකුත් ආයතන අතර තිරසාර සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ මුලපිරීමක් ලෙස මෙය සැලකිය හැකි බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාවයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය සමඟ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධාන පාරිසරික ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම වසරේ ජූනි 6 සිට 10 දක්වා මෙම වැඩමුළුව මෙහෙයවන බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සමුද්‍රීය සිදුවීම් ප්‍රතිචාරයන්ට සම්බන්ධ සියලුම රජයේ පාර්ශවයන්ගේ නියෝජිතයින් මෙම වැඩමුළුව සඳහා සහභාගී වේ.

වැඩමුළුවේ සිව්වන දිනයේදී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින ධාරිතාව සහ හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා උපකරණ යෙදවීමේ අභ්‍යාසයක් ඇතුළු සංදර්ශණයක් දික්ඕවිට ධීවර වරායේ දී පැවැත්වීමට නියමිත බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානී ලුතිනන් කමාන්ඩර් ෂෝන් ජින් මහතා සහ කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයන් ද මෙම සමාරම්භක උත්සවයට එක්විය.

මධ්‍යම පරිසර අධිකාරිය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විදේශ අමාත්‍යාංශය, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙළඳ නාවික ලේකම් කාර්යාලය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන ආයතන වෙතින් නියෝජිතයින් මෙම වැඩමුළුවට සහභාගී වන බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.