යුද හමුදා සෙබලුන් සඳහා නව නවාතැන් පහසුකම් සංකීර්ණයක්

ජුනි 08, 2022

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට අනුයුක්ත සෙබළුන් සඳහා අභිනවයෙන් ඉදිකරන ලද නවාතැන් සංකීර්ණයක් විවෘත කිරීම වෙනුවෙන් අද (08) සංවිධානය කර තිබූ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගී විය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යන මහත්වරුන්ගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම්වරයා විසින් නව ගොඩනැගිල්ලේ සමරු ඵලකය නිරාවරණය කරන ලදී.

නව නවාතැන් සංකීර්ණය සුබසාධක ආපන ශාලාවක්, සේවා වනිතා සුබසාධක වෙළඳසැලක්, වෛද්‍ය පරීක්‍ෂණ කාමරයක් ඇතුළු අත්‍යාවශ්‍ය පහසුකම්වලින් සමන්විත වන අතර සෙබළුන් 740කට නවාතැන් පහසුකම් සපයයි.

ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, නාවික හමුදාවේ සහ ගුවන් හමුදා සාමාජිකයින් මෙම ව්‍යාපෘතිය සඳහා ඔවුන්ගේ තාක්ෂණික විශේෂඥතාව ලබා දී ඇත.

මෙම උත්සවයේදී සම්ප්‍රදායික පොල්තෙල් පහන් දැල්වීම ඇතුලු ගෙට ගෙවදීමේ චාරිත්‍ර සිදු කෙරින.

එම ස්ථානයට පැමිණි ජෙනරල් ගුණරත්න මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති විසින් පිළිගනු ලැබීය. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ගුවන් හමුදා නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.