ජනාධිපතිතුමන්ගේ පොසොන් දින පණිවුඩය

ජුනි 14, 2022

නව අරුත් සහිත අනන්‍යතාවක් සේම සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කළ, මහින්දාගමනය සිදු වූ පොසොන් පොහොය ශ්‍රී ලාංකේය අපි ගෞරවයෙන් සදානුස්මරණය කරන අසිරිමත් දවසකි.

තථාගතයන් වහන්සේ අනුදැන වදාළ ශ්‍රී සද්ධර්මය මෙරට ස්ථාපිත කිරීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ එතෙක් පැවති ශ්‍රී ලාංකේය සංස්කෘතිය අර්ථයෙන් සහ ධර්මයෙන් පෝෂණය කළහ.

මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වා දුන් මාර්ගය ජාතික අභිවෘද්ධිය උදෙසා ද වදාළ දහමකි. එසේම ආධ්‍යාත්මික පුද්ගල සංවර්ධනය ඉලක්ක වූවකි. ඒ දහම වැළඳ ගත් අතීත ශ්‍රී ලංකාව ශ්‍රී විභූතියෙන් අනූනව පැවැතුණු බව ඉතිහාසයේ සඳහන්ය.

පොදුජන කේන්ද්‍රීය අරමුණක් ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනාගේ සමගිය, සහාය, බැදීම් අත්‍යාවශ්‍ය වේ. අතීත අපේ හෙළයන් අභියෝග ජය ගනු ලැබුවේ සාමූහික හා පොදු එකඟතා මත පිහිටා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

විමංසනය, බුද්ධිය, නම්‍යශීලී බව හා ධර්ම ගරුක බව, නිර්මාණශීලී චින්තනය සහ සොබාදහම කෙරෙහි ඇති විශ්වාසය ජන සමාජයේම පොදු යහපතට හේතු වන බව අනුබුදු මිහිඳු මාහිමියෝ අපට පසක් කළහ. බුදු දහමෙන් ඉගැන්වෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ඇති කර ගත් අවබෝධයේ හරයයි. පසිඳුරන්ගෙන් සිත මුලාවට ඉඩ නොතැබිය යුතුය. සත්‍ය දැක ගත හැකි වනුයේ ධර්ම ගවේෂණය තුළිනි.

බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ධර්මය අපි ද අවබෝධ කරගනිමින්,  භව නිරෝධයත් මෙලොව සුවයත් පිණිස කටයුතු කිරීමට මෙම පොසොන් මංගල්‍යයේ අදිටන් කර ගනිමු. ඒ සඳහා සියලු දෙනාට මෙත් සිත් ඇති වේවා ! යි ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ

2022 ජුනි මස 13 වන දින

අනුග්‍රහය - www.president.gov.lk