ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා උපකාර කිරීමේ වැඩසටහනක්

ජුනි 15, 2022

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය (SLCOMM) විසින් වෛද්‍ය සායනයක් පසුගියදා (ජුනි 13) සීදූව පිහිටි ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.

මෙම වෛද්‍ය සායනය, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය විසින් එහි ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ පවත්වනු ලබන වැඩසටහන් රැසකින් එකක් බව ගුවන් හමුදා මාධ්‍ය සඳහන් කරයි.  

පොසොන් පොහොය දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා වෛද්‍ය සහ දන්ත වෛද්‍ය වෘත්තිකයන්ගේ සහය ඇතිව මෙම වෛද්‍ය සායනය පවත්වන ලද අතර, මෙම සායනය මගින් විවිධ ආබාධ සහිත පුද්ගලයින් 300ක් පමණ සහ ඔවුන්ගේ රැකවරණ සපයන්නන් සඳහා සාමාන්‍ය වෛද්‍ය, දන්ත, අක්‍ෂි, මනෝචිකිත්සක සහ පෝෂණ උපදේශන සඳහා පහසුකම් සැලසූ බව එහි සඳහන් වේ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය සහභාගී විය.

එහි අනෙකුත් වැඩසටහන් අතර තෝරාගත් පවුල් 100කට වැඩි පිරිසකට වියළි සලාක මලු  බෙදාදීම, මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා නාවික හා ගුවන් හමුදා සාමාජිකයින් විසින් 'ශ්‍රමදාන' ව්‍යාපාරයක් පැවැත්වීම, ප්‍රධාන ශ්‍රවණාගාරය සහ අවට ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම සහ වර්ණ ගැන්වීම සහ පොසොන් බැති ගී සංදර්ශනයක් පැවැත්වීම ද ඇතුලත් වේ. තවද ගුවන් හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහනක් ද මේ සඳහා ඇතුලත් විය.

මීට අමතරව මෙම මධ්‍යස්ථානයේ රැඳවියන්ට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා දානපතියන්ගේ පරිත්‍යාග මත ප්‍රති අසෘති ජල පිරිපහදු යන්ත්‍රයක් ද ස්ථාපනය කරන ලදි.

ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශණ පතිරණ සහ ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාෂල් වෛද්‍ය ලලිත් ජයවීර යන මහත්වරුන්ගේ මගපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ සිදුකල අතර, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ සභාපති එයාර් කොමදෝරු (වෛද්‍ය) නිලූකා අබේසේකර විසින් සමස්ත වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදි.