නාවික හමුදා නෞකාවන් විදේශීය පුහුණු මෙහෙයුමක් සඳහා පිටත්වෙයි

අගෝස්තු 25, 2019

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා දෙකක් පුහුණු මෙහෙයුම් සඳහා බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වරායන් බලා මෙරටින් පිටත්ව ගියහ.

නාවික හමුදා මාධ්‍යට අනුව ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවක් වන ශ්‍රිලංනානෞ සයුර සහ මිෂයිල ප්‍රහාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ නන්දිමිත්‍ර යන නෞකාවන් පුහුණු වන නිලධාරින්ගේ පුහුණු සැසියකට සහභාගි විම සඳහා බංගලාදේශයේ චිතගොන් සහ මියන්මාරයේ රැංගුන් වරායන් බලා යාත්‍රා කරන ලදි.

මෙම නෞකාවන් අගෝස්තු 22 (2019) වන දින ත්‍රිකුණාමලයේ නාවික නැව් තටාකයේ සිට දිවයිනෙන් පිටත් විය.

මෙම නෞකා දෙක මේ මස 26 දින සිට 29 දින දක්වා (අගෝස්තු) බංගලාදේශයේ සහ සැප්තැම්බර් 01 දින සිට 04 දින දක්වා මියන්මාරයේද රැඳී සිටීමට නියමිතය. මෙම සංචාරය අතරතුර නෞකා දෙකෙහි කාර්ය මණ්ඩලයන් එම රටවල නාවික හමුදා සාමාජිකයින් සමඟ පුහුණු අභ්‍යාස කිහිපයක නිරත වීමටද අපේක්ෂා කෙරේ.

“සයුර” සහ “නන්දිමිත්‍ර” නෞකාවන් පුහුණු සංචාරය අවසන් වීමෙන් පසු සැප්තැම්බර් 04 රැංගුන් වරායේ සිට නැවත මෙරට බලා පැමිණීමට නියමිතව ඇත.