වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කෙරේ - කාලගුණ දෙපාර්තමේන්තුව

ජුනි 17, 2022

අද (ජුනි 17) පහල වායුගෝලයේ කැළඹීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වන අතර, සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, උතුර, උතුරු-මැද සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ අනාවැකිය වැඩිදුරටත් සඳහන් කරයි.