කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මැලේසියාවේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය සමඟ සබඳතා ශක්තිමත් කරයි.

ජුනි 18, 2022

ආසියානු කලාපීය සංසදයේ ආරක්ෂක විශ්වවිද්‍යාල, විද්‍යාල, ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම සඳහා සූදානම් වීම සහ ඒකාබද්ධ සහයෝගීතා ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, මැලේසියාවේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය සමඟ ද්විපාර්ශ්වික රැස්වීමකට සහභාගී විය.

ආයතන දෙක අතර බැඳීම් තවදුරටත් ශක්තිමත් කරමින් මෙම වසරේ පැවැත්වීමට නියමිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය සඳහා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් ඇතුලු දූත පිරිසක් මැලේසියාවේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි සංචාරයක් සැලසුම් කරමින් සිටින බව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.

සාකච්ඡාව අතරතුර, මැලේසියාවේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරුන් කිහිප දෙනෙකු වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට සහභාගී වීමට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල වෙත පැමිණි අවස්ථාවේදී ඔවුන්හට දැක් වූ ආගන්තුක සත්කාරය පිළිබඳව ඔවුන්ගේ ස්තුතිය පුද කර ඇත.

එයට ප්‍රතිචාර වශයෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති විසින් 2022 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මෙම වසරේ වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව සඳහා සහභාගී වන ලෙස මැලේසියාවේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙත ආරාධනාවක් කළ බව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ආරංචි මාර්ග අනාවරණය කළේය.

සහකාර උපකුලපති (සේවා, කර්මාන්ත සබඳතා, සහ ආයතනික කටයුතු) ආචාර්ය ජුනයිඩා බින්ටි කමරුදීන් ඇතුළු මැලේසියාවේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නියෝජ්‍ය උපකුලපති (ආරක්ෂක සහ පරිපාලක) බ්‍රිගේඩියර් ඩබ්ලිව් චන්ද්‍රසිරි ඇතුළු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.