පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනේ ‘සම්බුද්ධ රාජ මණ්ඩපය’
සඟ සතු කෙරේ

ජුනි 19, 2022

ඓතිහාසික පැපිලියාන ‍සුනේත්‍රා දේවි පිරිවෙන් විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද “සම්බුද්ධ රාජ මණ්ඩපය”, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ආරක්‍ෂක ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය වෙත අද පෙරවරුවේ (ජූනි 19) සඟ සතු කොට පූජා කරන ලදි.

විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ආරාධනයෙන් සපැමිණි ප්‍රධාන ගිහි ආරාධිත අමුත්තා වූ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් ගුණරත්න විසින් “සම්බුද්ධ රාජ මණ්ඩපයේ” සමරු ඵලකය නිරාවරණය කරන ලදි.

කුඹුක් දැව භාවිතයෙන් ඉදිකරන ලද දෙමහල් මණ්ඩපය ලී මූර්ති වලින් සහ ලී කැටයම් වලින් පරිපූර්ණය.

අස්ගිරි මහා විහාරාධිපති අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමියන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක, අති පූජ්‍ය ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.

ඓතිහාසික පිරිවෙන වෙත දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කර පිරිවෙන් අධ්‍යාපනය හදාරන සාමණේර භික්ෂූන් වහන්සේලා වෙත පිදෙන පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම  ආචාර්ය නියංගොඩ විජිතසිරි නායක හිමිපාණන් විසින් ආගමික ආශිර්වාද මධ්‍යයේ චාරිත්‍රානුකූලව සිදුකෙරිණි.

තවද මෙම උත්සව අවස්ථාවේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නවීකරණය කරන ලද පිරිවෙන් ගොඩනැගිලි සංකීර්ණයේ යතුරු සංකේතාත්මකව සාමනේර හිමිනමක් වෙත භාරදෙන ලදි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් නව දහම් පාසල් ගොඩනැගිල්ල සිසුන් සඳහා ලබාදීම ද සිදුවිය.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ආරාධනයෙන්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් සිසුන්ට ක්‍රීඩා පිටිය ප්‍රදානය කිරීමද සිදුවිය.

පූජ්‍ය මහාචාර්ය අභයතිස්ස හිමියන් උත්සව සභාව ආරම්භයේදී පිළිගැනීමේ කතාව සිදුකළ අතර, මෙම උතුම් අධ්‍යාත්මික කර්තව්‍යයට විවිධ හැකියාවන්ගෙන් දායක වූවන්ට සිය ප්‍රශංසාව ද පළ කළහ.

බෞද්ධයා නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන හිමි, ගල්කිස්ස වටරප්පොල බෞද්ධායතනයේ විහාරාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළුව දිවයිනේ කීර්තිමත් විහාරස්ථානවල නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්න මෙම උත්සවයට එක් වූහ. මෙයට අමතරව දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින්, හමුදා සාමාජිකයින්, ගුරුවරුන්, සිසු සිසුවියන් සහ සැදැහැවතුන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

සුප්‍රසිද්ධ පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන, එකල රට එක්සේසත් කළ මහා රණශූරයෙකු වන කෝට්ටේ හයවන පරාක්‍රම බාහු රජු විසින් ක්‍රිස්තු වර්ෂ 1410 සිට 1415 දක්වා කාලය තුළ ඔහුගේ ආදරණීය මව වන සුනේත්‍රා දේවි රැජින සිහිවීම වෙනුවෙන් ඉදිකරන ලද්දකි. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම අධ්‍යාත්මික හා ඓතිහාසික ස්මාරකයක් වන මෙම වසර 600ක් පැරණි පිරිවෙන බෞද්ධ සාහිත්‍ය ක්ෂේත්‍රයට අමිල සේවාවක් ඉටුකර ඇත.