මෙරට සංචාරයක නිරත ඕස්ට්‍රේලියානු දූත පිරිස ආරක්‍ෂක ලේකම් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයින් හමුවෙයි

ජුනි 20, 2022

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය ගරු ක්ලෙයාර් ඔනීල් (Clare O'Neil) මහත්මිය ප්‍රමුඛ දූත පිරිස අද (ජුනි 20) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිතයින් හමුවිය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලී (David Holly) මහතා සමඟින් පැමිණි දූත පිරිස ජෙනරල් ගුණරත්න විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදි.

මිනිස් ජාවාරම් ඇතුළු ජාත්‍යන්තර අපරාධ වැළැක්වීම සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ සමුද්‍ර ආරක්‍ෂාව වැනි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.

ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ කොමසාරිස් මයිකල් අවුට්‍රම් (Michael Outram), ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් (Rear Admiral Justin Jones), ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ අන්තර්ජාතික මෙහෙයුම් අණදෙන නිලධාරී රිචඩ් චින් (Richard Chin), මිනිස් ජාවාරම් පිළිබඳ තානාපති සහ සහකාර ලේකම් ලුසීන් මැන්ටන් (Lucienne Manton) ඇතුළු නියෝජිතයන්ගෙන් සමන්විත සංචාරක දූත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ඇමෙන්ඩා ජුවෙල් (Amanda Jewell) ඇතුළු නිලධාරීන් මෙම දූත පිරිස නියෝජනය කරන ලදි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක, ජාතික බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරල් රුවන් කුලතුංග, රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර යන නිලධාරීන් ශ්‍රී ලංකා පාර්ශවය නියෝජනය කරන ලදි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් දූත මණ්ඩල ප්‍රධානීන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.