ඊච්චන්කුලම් පෙරපාසල් දරුවන්හට යුද හමුදා භට පිරිස් වෙතින් දිවා ආහාරයක්

ජුනි 23, 2022

වන්නි ආරක්ෂක සේනා  භට පිරිස් විසින් පෙර පාසල් ළමුන් පිරිසකට ඔවුන්ගේ ක්‍රීඩා උළෙල දිනයේදී දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ඒ අනුව, වන්නි ආරක්ෂක සේනාවට අයත් 56 වන සේනාංකයේ 562 බලසේනාවේ භට පිරිස් විසින් පසුගියදා (ජූනි 17) ඊච්චන්කුලම් පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙලේ දී දරුවන් සඳහා දිවා ආහාරය ලබාදීම සිදු කල බව යුද හමුදා මාධ්‍ය සඳහන් කළේය.

යුද හමුදාව සහ ප්‍රදේශයේ ප්‍රජාව අතර සුහදතාවය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර යුද හමුදා භට පිරිස්වල දායකත්වයෙන්  ගුරුවරුන් සහ දෙමාපියන් ඇතුළුව දරුවන්  සඳහා  දිවා ආහාරය ලබා දී ඇති බවද එහි සඳහන් වේ.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ මගපෙන්වීම සහ 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන් ලියනගේ ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.