වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ඔස්ට්‍රේලියානු දේශසීමා බලකායෙන් තොරතුරු තාක්ෂණ උපකරණ

ජුනි 27, 2022

අනාගත වෙරළාරක්ෂක පුහුණු වැඩසටහන් සඳහා ප්‍රයෝජනවත් වන තොරතුරු තාක්ෂණ උපකරණ කට්ටලයක් ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කරන ලදී.

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නියෝජිත පිරිස සමඟ පැමිණි  ඔවුන්ගේ පළමු පරීක්ෂක ලේකම් බ්‍රෙට් සෙ(z)න්ඩර් විසින් එම භාණ්ඩ පසුගියදා වැල්ලවත්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ පසුමූලයේදී එහි අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක වෙත නිල වශයෙන් භාර දුන් බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම උපකරණ ජංගම පුහුණු ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නා අතර වෙරළාරක්ෂක පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීමට එය ඉමහත් පිටුවහලක් වනු ඇති බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකායේ ජාත්‍යන්තර මෙහෙයුම් සහ සම්බන්ධීකරණ පරීක්ෂක වැනේසා බෙල් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Sinhala.