නොරච්චෝලේදී ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ජුලි 06, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (ජුලි 6) නොරච්චෝලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් විය. නාවික හමුදා මාධ්‍ය සඳහන් කළේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 212ක් පමණ වෑන් රථයකින් රැගෙන යමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් බවයි. මෙම මෙහෙයුමේදී සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි නෞකාවට අනුයුක්ත භට පිරිස් නොරොච්චෝලේ පොලිසිය සමඟ එක්ව අද පෙරවරුවේ නොරොච්චෝලේ කරඹ මාර්ග බාධකයේදී සැකකටයුතු වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය සොයාගෙන තිබේ. ගෝනි 10ක අසුරන ලද පැකට් 97ක තිබී සොයාගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 63 ක් වන බවට නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් ගංජා තොගය, සැකකරු සහ වෑන් රථය නොරොච්චෝලේ පොලිසියට භාරදුන් බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.