ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ (NAHTTF) විශේෂ දැනුවත් කිරීම:

අගෝස්තු 04, 2022

සංචාරක වීසා බලපත්‍ර, රැකියා වීසා බලපත්‍ර බවට පත්කළ හැකි බවට විශ්වාස කරමින් මැලේසියාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ අවධානයට ලක්ව තිබේ.

එවැනි පැමිණීම් හේතුවෙන් මැලේසියානු ආගමන බලධාරීන් සංචාර වීසා බලපත්‍රලාභීන් දැඩි ලෙස පරීක්‍ෂා කිරීමට පියවර ගනිමින් සිටී. එම බලධාරීන් විසින් ඇතුළුවීම ප්‍රතික්‍ෂේප කරන ලද ශ්‍රී ලාංකිකයන් සතියකට 20 දෙනෙකු පමණ ගුවන් තොටුපළෙන් සෘජුවම ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බව වාර්තා ලැබී ඇත.

සංචාර වීසා මත මැලේසියාවට ඇතුළුවීම අනුමත කර ගැනීමට සමත් වූ බොහෝ පුද්ගලයන්, රැකියා නියෝජිතයින් විසින් තමන්ව රවටා ඇති බවට පසුව දැනගැනීමට හැකිවී ඇති අතර, ඔවුන්ට සුළු වැටුපක් සහ කම්කරු අයිතිවාසිකම් නොමැතිව දැඩි අමානුෂික තත්වයන් යටතේ සේවය කිරීමට සිදුවීමෙන් මෙලෙස මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත් වේ.

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට මැලේසියාවෙන් පිටවීම සඳහා ලබාදී තිබූ පොදු සමා කාලය 2022 ජුනි 30 දිනෙන් අවසන් වූ බව වැඩිදුරටත් වාර්තා කරන ලදි. වලංගු වීසා බලපත්‍ර නොමැති විදේශිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා මැලේසියානු නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන මේ වනවිට අඛණ්ඩ වැටලීම්වල නිරතව සිටී.

වලංගු වීසා බලපත්‍ර නොමැති පුද්ගලයින් අත්අඩංගුවට පත්වූ විට බන්ධනාගාරගත වීමට සිදුවනු ඇති අතර, ඉන් නිදහස් වූ පසු, තම වියදමින් පිටුවහල් කිරීමට කටයුතු කරන තෙක් නියමිත රැඳවුම් මධ්‍යස්ථානයක රැඳී සිටීමට සිදුවේ.

එබැවින්, සංචාරක වීසා බලපත්‍ර මගින් මැලේසියාවට ගිය පසු එය රැකියා වීසා බලපත්‍රයක් බවට පත් කළ නොහැකි බැවින් විදේශ රැකියා අපේක්‍ෂා කරන අයවලුන් නීත්‍යානුකූල ක්‍රමවේදයට අනුව සහ අව්‍යාජ ලෙස විදෙස්ගත වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය මෙරට ජනතාවට උපදෙස් දෙනු ලැබේ.

ඔබට ලැබී ඇති එවැනි අවස්ථාවන් පිළිබඳව විදෙස්ගත වීමට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) වෙතින් තහවුරු කර ගන්නා ලෙස කාර්ය සාධක බලකාය කරුණාවෙන් ඉල්ලා සිටී.

තවද, ඉදිරියේදී විදෙස්ගතවීමට බලාපොරොත්තුවන අයවලුන් ඒ සඳහා නිසි ක්‍රමවේදය අනුව කටයුතු කරන ලෙසත්, රටින් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ලෙසත් මෙයින් උපදෙස් දෙනු ලැබේ.