ශ්‍රී ලාංකික නීතිවිරෝධී සංක්‍රමණිකයන් 46 දෙනෙකු රැගෙන
ඔස්ට්‍රේලියානු නෞකාවක් පැමිණේ

අගෝස්තු 05, 2022

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට තැත්කළ ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙකු, ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායට (Australian Border Force) අයත් නෞකාවකින් මෙරටට රැගෙන එනු ලැබූ අතර, ඔවුන් අද (අගෝස්තු 05) කොළඹ වරාය වෙත රැගෙන එන ලදී.

මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස බහුදින ධීවර යාත්‍රාවක් මගින් මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායට අයත් මුර යාත්‍රාවක් වන “ඕෂන් ශීල්ඩ්” (Ocean Shield) නෞකාව මගින් රැගෙන ආ අතර, කොවිඩ් - 19 පැතිරීම පාලනය සඳහා වන සෞඛ්‍ය ක්‍රමවේදයට අනුකූලව මූලික සෞඛ්‍ය පරීක්‍ෂණ සිදුකර මෙරට බලධාරීන් වෙත භාර දෙන ලදී.

දෙරට අතර පවතින දිගුකාලීන සමීප සහයෝගීතාව සිහිපත් කරමින් ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ දකුණු ආසියානු කලාපය භාර අධ්‍යක්ෂ කමාන්ඩර් ක්‍රිස් වෝටර්ස් (Chris Waters) පැවසුවේ මේ වසරේ (2022) මැයි මාසයේ සිට අසාර්ථක නීතිවිරෝධී සමුද්‍ර තරණය කිරීමේ අවස්ථා හයකදි හසුවු පුද්ගලයින් 183 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට ආපසු එවූ බවයි.

තවද, ඔස්ට්‍රේලියාවේ බලයට පත් නව රජය මඟින් නීති විරෝධී සංක්‍රමණික කටයුතු සඳහා කිසිදු අනුග්‍රහයක්‍ නොලැබෙන බව සහ ඕස්ට්‍රේලියාව වෙත නීති විරෝධී ලෙස සංක්‍රමණය වන්නන් සම්බන්ධයෙන් අනුගමනය කරන එරට ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය යන ආයතනවල සමුද්‍ර මුර සංචාර හේතුවෙන්, නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට හැකියාවක් නොමැති බව පවසා එවැනි නිෂ්ඵල ප්‍රයත්නයන්ගේ ප්‍රතිවිපාක පෙන්වාදී එවැනි නීති විරෝධී ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙස අවධාරණය කළේය.

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකායට අයත් නෞකාවක් මගින් ශ්‍රි ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සිදු කළ පළමු අවස්ථාවද මෙය වේ. “ඕෂන් ශීල්ඩ්” නෞකාව යනු ඕස්ට්‍රේලියාවට අයත් ගැඹුරු මුහුදු යාත්‍රාවලින් එකක් වන අතර එය දිගු දුර මුර සංචාර සිදුකරමින් මිනිස් ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීම සිදුකරනු ලබයි.

මෙම අවස්ථාවට, වැඩබාර ගැනීමට නියමිත ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන් මහතා, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මෙම නීතිවිරෝධී සංක්‍රමණික පිරිස මෙම වසරේ (2022) ජූලි මස 6 වනදා මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේ සිට බහුදින ධීවර යාත්‍රාවකින් පිටව ගොස් ඇති අතර ඔවුන් අවුරුදු 17 ත් 49 ත් අතර වයස්වල පසුවන වාලච්චේන, මඩකලපුව, පාසිකුඩා, අම්පාර, බිබිල සහ මුතූර් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව හරහා කොළඹ වරායේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ඔවුන් භාර දෙන ලදී.