අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අවතැන් වූ සිවිල් වැසියන්ට
යුද්ධ හමුදා භටපිරිස්හී සහය

අගෝස්තු 06, 2022

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුකොටගෙන ඇති වූ ගංවතුර, නායයෑම්, පස් කඳු කඩාවැටීම් ඇතුලු විවිධ ආපදාවන්ට ලක් වූ කඳුකර ප්‍රදේශවල සිවිල් වැසියන් පැය 24 ක් වැනි කාලයක් තුළ ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකිරීමට අඟහරුවාදා (02) දින කටයුතු කරනු ලැබූහ.

ඒ අනුව, 1 වන බලකාය යටතේ පිහිටි 58 වන සේනාංකයට අයත් 581 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් පස් කඳු කඩා වැටීම හේතුවෙන් ඊයේ (1) දින සන්ධ්‍යාවේ නාවලපිටිය, වෙල්ගම්පොළ ප්‍රදේශයේ අවතැන්ව සිටි සිවිල් වැසියන් 16 දෙනෙකු ඉන් මුදවාගැනීමට කටයුතු කළහ. (ඒ පිළිබඳ මුල් පිටුවේ වෙනම පුවතක් පළකර ඇත.)

එමෙන්ම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ පිහිටි 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා රයිෆල් බලකායේ භටපිරිස් කිතුල්ගොඩ ප්‍රදේශයේදී මහවැලි ගඟේ ජලය පිටාර ගැලීම හේතුවෙන් අවතැන් වූ පවුල් 50 ක පමණ සිවිල් වැසියන් නැවත පදිංචි කිරීම සඳහා අවැසි සහයෝගය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු සිවිල් බලධාරීන් වෙත ලබාදුන්හ.

අධික වර්ෂාපතනයෙන් මහවැලි ගඟේ ජලය පිටාර ගැලීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගතුළුව ප්‍රදේශයේ පවුල් 75 ක පමණ වැසියන් අවතැන් වූ අතර සිවිල් බලධාරින්ගේ සහයෝගය ඇතිව එම සිවිල් වැසියන් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කටයුතු කරනු ලැබූහ.

මේ අතර, 1 වන බලකාය යටතේ පිහිටි 58 වන සේනාංකයට අයත් 581 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අධික වර්ෂාව හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් සිවිල් වැසියන් බෝට්ටු මඟින් ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාමට දිවා රෑ නොබලා සිය දායකත්වය ලබාදුන්හ.

එමෙන්ම, නාවලපිටිය, දියගල, විදුලිපුර ප්‍රදේශයේ ඊයේ (1) සන්ධ්‍යාවේ ඇදහැලුණු අධික වර්ෂාව හමුවේ අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා 111 වන බලසේනාවට අයත් 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී. සෝදිසි මෙහෙයුම අවසානයේ අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයාගත් භටපිරිස් එම පුද්ගලයාගේ දේහය ඉදිරි කටයුතු සඳහා නාවලපිටිය රෝහල් බලධාරින් සහ පොලිස් නිලධාරින් වෙත භාර දෙන ලදී.

මේ අතර, 111 වන බලසේනාවට අයත් 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ ගිණිගත්හේන, මාදෙණිය ප්‍රදේශයේ සිව් හැවිරිදි පිරිමි දරුවෙකු සෙවීම සඳහා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබූහ.

අනුග්‍රහය - www.army.lk