ආරක්‍ෂක අමාත්‍යාංශය සභාපතිත්වය දරනු ලබන තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් කෙරෙන විශේෂ නිවේදනය

අගෝස්තු 09, 2022

මෙරට ඇතැම් විදේශ රැකියා ඒජන්තවරුන් විසින්, පසුව රැකියා වීසා බවට වෙනස් කළ හැකියයි පවසමින් විදේශ ශ්‍රමිකයන් සංචාරක වීසා යටතේ විවිධ රටවල්වලට යැවීමේ ක්‍රියාවලියේ නිරතව සිටින බවත්, ඒ හේතුවෙන් එකී ශ්‍රමිකයන්, තැනැත්තන් වෙළෙඳාමේ ගොදුරු බවට පත්ව ඇති බවත් අප වෙත වාර්තා වී තිබේ.

මේ හේතුවෙන්, විශේෂයෙන්ම මැලේසියානු ආගමන බලධාරීන් විසින්, සංචාරක වීසා හිමි තැනැත්තන් පරීක්‍ෂා කිරීමට දැඩි පියවර ගනිමින් සිටින අතර, පසුගිය මාස කිහිපයේ සිට එරටට ඇතුළුවීමට අවසර නොලැබෙන විදේශ සංක්‍රමණිකයන් සතියකට 20 දෙනෙකු පමණ ගුවන් තොටුපළෙන් සෘජුවම ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට මැලේසියාවෙන් පිටවීම සඳහා ලබාදී තිබූ පොදු සමා කාලය 2022 ජුනි 30 වැනිදායින් අවසන් වී ඇති අතර, අඛණ්ඩ වැටලීම් සිදුකරමින් වලංගු වීසා බලපත්‍රයක් නොමැති විදේශිකයන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමට මැලේසියාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන කටයුතු කරමින් සිටින අතර, අදාළ ශ්‍රමිකයන් නිදහස්වූ පසු, තමන්ගේම වියදමින් රටෙන් පිටුවහල් වීමට කටයුතු කරන තෙක් ඔවුන් නියමිත රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබනු ලැබේ.

මෙලෙස රවටා මැලේසියාවට යවනු ලබන ශ්‍රමිකයන් කූට විදේශ රැකියා ඒජන්තවරුන් විසින් ඉතා සුළු වැටුපකට, දැඩි අමානුෂික තත්වයන් යටතේ කිසිඳු කම්කරු අයිතිවාසිකමක් නොමැතිව බලෙන් සේවයේ යෙදවීම සිදුකෙරෙන බව තමන් වෙත වාර්තා වී ඇති බැවින් “මැලේසියාවට යාමට ලැබෙන සංචාරක වීසා, එරටට ඇතුළු වූ පසු රැකියා වීසා බවට වෙනස් කර ගත නොහැකි බව“ තරයේ සිත්හි තබා ගෙන කටයුතු කරන ලෙස එරටට විදේශ රැකිය සඳහා යාමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා පුරවැසියන්ට, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් දැනුම් දී සිටී.

එමෙන්ම, විදේශ රැකියා අපේක්‍ෂාවෙන් සිටී නම්, නීත්‍යානුකූල සහ අව්‍යාජ ආයතන හරහා අදාළ අවස්ථා ලබාගන්නා ලෙස සියලුම අනාගත සංක්‍රමණිකයන්ගෙන් කාර්ය සාධක බලකාය ඉල්ලා සිටින අතර, ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර නිසි මාර්ග භාවිතා කර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ලෙසට ද උපදෙස් දී සිටී.