දියකාවා යුද අභ්‍යාසය අදියර - 10 එළෙඹන සතියේ සිට ආරම්භ වේ

අගෝස්තු 27, 2019

ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය වන “ දියකාවා යුද අභ්‍යාසය අදියර 10 - 2019” ලබන සතියේ (සැප්තැම්බර් 03) ආරම්භ කිරීමට නියමිතය. කොළඹ කින්ග්ස්බරි හෝටලයේදී කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය වෙනුවෙන් ඊයේ (අගෝස්තු 26) දින සවස පැවති මාධ්‍ය හමුවේදී අභ්‍යාසය පිලිබදව නිවේදනය කරන ලදී.

නැගෙනහිර, මධ්‍යම, බටහිර සහ උතුරු මැද පළාත් ආවරණය වන පරිදි “ දියකාවා යුද අභ්‍යාසය අදියර 10” සැප්තැම්බර් 03 දින සිට සැප්තැම්බර් 24 දින දක්වා පැවැත්වේ.

යුද හමුදා මාධ්‍යට අනුව අඛණ්ඩව මෙම වර්ෂයේ 10 වන වරට පැවැත්වීමට සැලසුම් කර ඇති අභ්‍යාසය සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු සහභාගී වනු ඇත.

මීට අමතරව, මැලේසියාව, මාලදිවයින, නේපාලය, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, බංග්ලාදේශය, චීනය, ප්‍රංශය, ඉන්දියාව, ඉරානය, පකිස්තානය, එක්සත් රාජධානිය සහ සැම්බියාව යන රටවල විදේශීය හමුදා නියෝජිතයින් සහ නිරීක්ෂකයින් 100 කට අධික සංඛ්‍යාවක් “ දියකාවා යුද අභ්‍යාසය අදියර 10 - 2019” සඳහා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අභ්‍යාසය සැප්තැම්බර් 23 වන දින නැගෙනහිර පළාතේ කුච්චවේලි හිදී “ඒකාබද්ධ මෙහෙයුමක්” ලෙස අවසන් වන අතර අභ්‍යාසය පිළිබඳ පසුකථනයක් පසු දින (සැප්තැම්බර් 24) පැවැත්වේ.