ලකඹර පොබ කළ සරසවි මාතා කොතලාවල

අගෝස්තු 31, 2022

පුරා දශක හතරක කාලයක් ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ, කිත් යසස් ලබමින්, බහුවිධ දිශානතීන් ඔස්සේ ජාතික ආරක්ෂාව හා තිරසර සංවර්ධන අභිලාෂයන් මුදුන් පමුණුවනු වස්, ඉටුකළ උත්කෘෂ්ඨ ජාතික මෙහෙවර අගයමින් සන්නද්ධ සේවා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා 2022 මාර්තු මස 25 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත ජනාධිපති හා විශ්ව විද්‍යාලයීය වර්ණ පිරිනමනු ලැබීය.

මෙම ලිපිය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය අභිමානවත් ගමන් මගෙහි සිංහාවලෝකනයකි.

70 දශකයේ අග භාගයේදී ශ්‍රී ලංකාව තුළ පැවති සමාජ, ආර්ථික, දේශපාලන වපසරිය තුළ ජාතික ආරක්ෂාවෙන් ඔබ්බට ගොස් නිපුණතාවයන්ගෙන් පමණක් නොව, ආරක්ෂක විද්‍යාව හා කළමනාකරණය පිළිබඳ උසස් දැනුමක් සහිත ත්‍රිවිධ හමුදා නිලධාරීන් බිහි කිරීමේ අවශ්‍යතාවය ජාතික හමුවේ පැන නැඟුනි.

මෙම ජාතික අවශ්‍යතාවය හා අභිලාෂය සපුරාලීම සඳහා නිදහස් ශ්‍රී ලංකාවේ තෙවන අග්‍රාමාත්‍ය හා කීර්තිමත් යුද හමුදා (විශ්‍රාමික) නිලධාරියෙක් වූ ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල ශ්‍රීමතානන් ස්වකීය පෞද්ගලික දේපලක් වූ රත්මලාන කඳවල වත්තේ පිහිටි අක්කර 48 ක සුන්දර භූමි භාගයත් එහි වූ වලව්වත්, සියලු චංචල හා නිශ්චල දේපලත් 1980 වර්ෂයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරනු ලැබීය.

ඉන් අනතුරුව නැණ නුවණින් හා තීක්ෂණ උපාය උපක්‍රමික කුසලතා සපිරි සුජාත දූ පුතුන් සන්නද්ධ සේවාවන් තුළ බල ගැන්වීමේ අරමුණ ඇතිව ආරක්ෂක අභ්‍යාස ආයතනයක් ලෙස 1981 අංක 68 දරණ පාර්ලිමේන්තු පනතින්, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය ස්ථාපිත කරනු ලැබීය.

ඉතා කෙටි කාලපරිච්ඡේදයක් තුළ ආරක්ෂක විද්‍යා අධ්‍යනයේ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් බවට පත් වෙමින්, ඉටු කළ අනගිභවනීය මෙහෙවර අගයමින් 1988 වර්ෂයේදී ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය සඳහා උපාධි ප්‍රධානය කිරීමේ වරම ප්‍රධාන කරනු ලැබීය.

ශ්‍රී ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය යථාර්ථයක් කරනු වස් 2007 වර්ෂයේදී ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ලෙස නැවත නම් කරනු ලැබීය.

ඉතා කෙටි කාල පරිච්ඡේදයක් තුළ ජාතික අවශ්‍යතාවයන් හා අභිලාෂයන් හඳුනාගනිමින්, හැඩ ගැහෙමින් පරිනත වෙමින් මූලික උපාධියේ සිට දර්ශනශූරී උපාධිය දක්වා උපාධි පිරිනමන අග්‍රගණ්‍ය ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත්වීමට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සමත්වී තිබේ.

2009 දී රට අභ්‍යන්තරයේ පැවති සිවිල් යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව, කාලානුරූපීව ආරක්ෂක විශ්ව විද්‍යාලය සිය දිශානතීන් වෙනස් කරමින් ත්‍රිවිධ හමුදාවන්ට පමණක් සීමා වී තිබූ අවකාශය සිවිල් ප්‍රජාව වෙත ද විවෘත කරනු ලැබීය. ඒ තුළින් අනේවාසික සිසුන්ට විනයානුකූල පරිසරයක් තුළ ඔවුන්ගේ අධ්‍යාපනය ලැබීමේ වරම හිමි විය.

පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය, ආරක්ෂක අධ්‍යයන හා උපක්‍රමික අධ්‍යයන පීඨය, වෛද්‍ය පීඨය, ඉංජිනේරු පීඨය, නීති පීඨය, කළමනාකරණ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, සම සෞඛ්‍ය අධ්‍යයන පීඨය, නිර්මිත පරිසර හා අවකාශීය විද්‍යා පීඨය, පරිගණක පීඨය, තාක්ෂණික පීඨය හා අපරාධ යුක්ති පීඨය ඇතුළු පරිපූර්ණ අධ්‍යාපන පහසුකම් සහිත පීඨ එකොළහක් තුළ බහුවිධ අධ්‍යයන ක්ෂේත්‍ර ඔස්සේ පරතෙරටම ඉගෙනීමට දැයේ දරුවන්ට අවකාශ සලසා දී තිබේ.

විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන ලද හා ජාත්‍යන්තර රැකියා වෙළඳ පොළේ ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන ලද ඉහළ වෘත්තීමය වටිනාකමක් සහිත උපාධි පාඨමාලා ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින් හඳුන්වා දී තිබේ. විනයානුකූල පරිසරයක සහතික කළ කාල රාමුවක් තුළ උපාධිය අවසන් කිරීමේ විශ්වාසය සහිතව ශිල්ප හැදෑරීමේ විරල භාග්‍ය දැයේ තරුණ දරුවන් වෙත දිනාදීමට  ආරක්ෂක විශ්ව විද්‍යාලය සමත්ව තිබේ.

උසස් අධ්‍යාපනය සඳහා විදේශයන්ට ඇදී යන දරුවන් මාතෘ භූමිය තුළම රඳවා ගනිමින්, ඔවුන්ගේ උසස් අධ්‍යාපන අභිලාෂයක් ඉටු කිරීමට ආරක්ෂක විශ්ව විද්‍යාලයට හැකි වීම ජාතික වගකීමක් ඉටු කිරීමකි. සමාජමය ගැටළුවකට තාර්කික විසඳුම් ලබාදීම පමණක් නොව වාර්ෂිකව විදේශයන් වෙත ඇදී යන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාව තුළ රඳවා ගැනීම තුළින් ජාතික ආර්ථිකය ද ශක්තිමත් කිරීමට ඍජු දායකත්වයක් සපයයි.

ශ්‍රී ලාංකීය සන්නාමය සහිත විශ්ව විද්‍යාලයක් ලෙස ජාත්‍යන්තරය වෙත විවර කළ අවකාශය ඔස්සේ මාලදිවයින, භූතාන, නේපාල, බංගලාදේශය, නයිජීරියාව, රුවන්ඩාව, සෞදි අරාබිය ප්‍රධාන මැද පෙරදිග රටවල්, කැනඩාව, ඕස්ටේ්‍රලියාව, ඇමරිකාව, ආදී විදේශීය රටවල සිසුහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි සිය උසස් අධ්‍යාපනය හදාරති. ජාත්‍යන්තර සබඳතා ඉහළ නැංවීමත් විවිධත්වයෙන් යුත් සමාජ සමාජ සංස්කෘතික අත්දැකීම් විඳින්නට ශ්‍රී ලාංකීය විද්‍යාර්ථීන්ට අවකාශ සැලසීමත්, විදේශ විනිමය උපයා ගැනීම සඳහාත් මෙය කදිම ප්‍රවේශයක් වී තිබේ.

පසුගිය දශක හතරක කාලය තුළ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් ලෙස ස්වකීය සන්නාමය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද බබලවන්නට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සමත් වී තිබේ. තවද රටට වැය බරක් නොවෙමින් උසස් අධ්‍යාපන අවකාශ හා වරප්‍රසාද ඉහළ නැංවීමේ ජාතික වගකීම ඉටුකිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමට ද ආරක්ෂක විශ්ව විද්‍යාලය සමත් වී තිබේ. උසස් සේවා පරිසරයක් ගොඩ නැගීම තුළින් බහුවිධ විෂය ක්ෂේත්‍රයන්හි විද්වතුන් ආකර්ෂණීය කර ගනිමින් බුද්ධි ගලනය සඳහා ද පිළියම් සෙවීමට ආරක්ෂක විශ්ව විද්‍යාලය සමත් වී තිබේ.

නිශ්චිත වාර්ෂික කාල රාමුවකට අනුකූලව විශ්ව විද්‍යාලයේ සියලුම කාර්යයන් සැලසුම් කරනු ලබයි. ඉහළ කළමනාකාරිත්වයේ මනා සුපවීක්ෂණය යටතේ, කණ්ඩායම් හැඟීමෙන් සැලසුම් කළ සියලුම කාර්යයන් විශ්ව විද්‍යාලයීය කාර්ය මණ්ඩලය උපරිම කාර්යක්ෂමතාවයකින් ඉටු කරනු ලබයි. ඉගෙනීම හා ඉගෙනුම් ක්‍රියාවලිය තුළ පවා විධිමත් සංවිධානාත්මක බවක් ගොඩනැගීම තුළින් විනය ගරුක නායකත්ව ගුණාංගවලින් පිරිපුන් නිර්මාණශීලී හා ගවේෂණශීලී කුසලතා හා ආකල්ප සපිරි විද්‍යාර්ථීන් බිහි කිරීම සඳහා පරිසරයක් නිර්මාණය කර තිබේ. පොත පත දැනුමට පමණක් සීමා නොවී විෂය පරිබාහිර හා විෂය සමගාමී ක්‍රියා කාරකම් සඳහා ද විද්‍යාර්ථීන් යොමු කිරීමට සෑම විටම උපරිම පරිශ්‍රමයක් දරයි. නවීන භාෂා හා පරිගණක විද්‍යාගාර පහසුකම් ලබා දීම තුළින් නව දැනුම අත්පත් කර ගැනීමේ අවස්ථාවන් විද්‍යාර්ථීන් වෙත සහතික කර දී තිබේ.

සෑම අතින්ම පරිපූර්ණ වෛද්‍ය පීඨයක් හා වෛද්‍ය සිසුන්ගේ ප්‍රායෝගික හා ශික්ෂණ කටයුතු විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා විශ්ව විද්‍යාලයීය රෝහලක් ද ආරක්ෂක විශ්ව විද්‍යාලය සතුය. විශේෂඥ වෛද්‍ය සේවා පහසුකම් සහිත පරිසර හිතකාමී වෛද්‍ය සංකීර්ණයක් තුළින් විද්‍යාර්ථීන්ගේ ප්‍රායෝගික හා ශික්ෂණ කටයුතු පමණක් නොව, රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත්, රෝගී ප්‍රජාවටත් ජාත්‍යන්තර ප්‍රමිතියේ වෛද්‍ය පහසුකම් සපයයි.

 

 

 

 

 

 

2013 වර්ෂයේ දී සම සෞඛ්‍ය අධ්‍යයන පීඨය ස්ථාපිත කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි මානව සම්පත් වර්ධනය කිරීමට දායක වෙමින් නිරෝගිමත් ජාතියක් බිහි කිරීමේ ජාතික වගකීම් ඉටු කිරීමේ සාඩම්බර කොටස්කරුවෙක් වීමට ද ආරක්ෂක විශ්ව විද්‍යාලයට හැකිවී තිබේ. හෙද හා පරිපූරක වෛද්‍ය සේවාවන් හි විදිමත් දැනුම හා ආකල්ප සපිරි ගුණාත්මක මානව සම්පත් සංවර්ධනයෙහි ලා දායකත්වය ලබා දීමට ද ආරක්ෂක විශ්ව විද්‍යාලයට හැකිවී තිබේ. තවද විදේශීය සිසුන් මේ සඳහා ආකර්ශනය කර ගැනීමෙන් විදේශ විනිමය උපයා දෙමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකවී තිබේ.

නියත වශයෙන් ඉටු කරන ලද කාර්යභාරය අගයමින් 2013 ඔක්තෝම්බර් මස 15 වන දින හම්බන්තොට සූරිය වැව ප්‍රදේශයේ අක්කර 146 ක භූමියක් දක්ෂිණ මණ්ඩපය ස්ථාපිත කිරීම සඳහා රජය විසින් ප්‍රදානය කරනු ලැබීය. නේවාසිකාගාර, අංගසම්පූර්ණ දේශන ශාලා, පීඨ හා මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණ සහිත දක්ෂිණ මණ්ඩපය 2015 මැයි මස 05 වෙනි දා විවෘත කරනු ලැබීය.

නිර්මිත පරිසර හා අවකාශිය විද්‍යා පීඨය හා පරිගණක පිඨයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව දක්ෂිණ මණ්ඩපය තුළ ස්ථාපිත කරමින් සේවා ශිෂ්‍යභට නිලධාරීන්ට අමතරව ඌව දකුණ සබරගමුව ආදී පලාත්වල දූ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ වරම් හිමි කර දීමට සමත්වී තිබේ.

නගරයට පමණක් සීමා වී තිබෙන අවකාශය ගමට ගෙන යෑම තුළින් රටේ සම්පත් නිසි සේ බෙදා දීම තුළින් සංවර්ධනයේ ඵලය සම සේ බෙදා දීමේ ජාතික වගකීම ඉටු කිරීමේ සාඩම්බර කොටස්කරුවෙක් වීමට ද ආරක්ෂක විශ්ව විද්‍යාලයට හැකි වී තිබේ.

උසස් පෙළ සමත්වන විශාල පිරිසක් අතුරින් විශ්ව විද්‍යාල වරම් හිමිවන්නේ ඉතා අතලොස්සකට පමණි. එසේ වුවත් අධ්‍යාපනය හැදෑරීමේ දරුවන් සඳහා වූ අයිතිය යථාර්ථයක් කිරීම සමාජ වගකීමකි. යුතුකමකි. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය යුතුකමක් ලෙස ඒ ජාතික වගකීම ඉටු කිරීම සඳහා උරදී තිබේ.

වෘත්තීමය හමුදා ඇති රටවල් ආදර්ශයට ගනිමින්, ශ්‍රී ලංකාවේ ද ත්‍රිවිධ හමුදා නිලධාරීන් නැණ නුවණින් සවි බලගන්වමින් වෘත්තීමය නිපුණතා හා හැකියාවන්ගෙන් පිරිපුන් ශක්තිමත් මිනිස් පවුරක් බවට පත් කිරීම ජාතික අභිලාෂයකි. ඒ අරමුණින් පශ්චාත් අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින් ආරක්ෂක විශ්ව විද්‍යාලය සංග්‍රාමෝපායික යාන්ත්‍රික, විදුලි, විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු, භට කාර්ය සම්පාදන කළමනාකරණය, ආරක්ෂක මුලෝපායික අධ්‍යයන ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි පිරිනමයි. සැලසුම්කරණ හා කළමනාකරණ මට්ටමේ තීන්දු තීරණ ගැනීම් හමුදා නිලධාරීන් තුළ වෘත්තීය හා උපායමාර්ගික ප්‍රවේශයන් සඳහා හැකියාවන්, නිපුණතාවයන් හා කුසලතාවයන් වැඩි දියුණු කිරීමට පසුබිම සැකසීම එහි දිගු කාලීන දැක්මයි.

මිනිස් අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කර ගැනීමේ විද්‍යාත්මක ප්‍රවේශයක් සඳහා වන ශාස්ත්‍රීය පර්යේෂණ සඳහා ආරක්ෂක විශ්ව විද්‍යාලය ඊට අනන්‍ය පර්යේෂණ සංස්කෘතියක් ගොඩ නැංවීම කෙරෙහි නිරන්තරයෙන් වෙහෙසවී ක්‍රියා කරයි. විද්‍යාත්මකව හා න්‍යායාත්මක පරීක්ෂණ ප්‍රායෝගික පදනමක් මත පිහිටා ක්‍රියාවට නැංවීම තුළින් වෙළඳ පොළ පදනම් කරගත් නවෝත්පාදන බිහි කරමින් ආර්ථිකය බල ගැන්වීම සඳහා අවශ්‍ය සහය ලබා දෙයි.

ආරක්ෂක විශ්ව විද්‍යාලය ලෝක ප්‍රවනතා හා රටේ අනාගත අවශ්‍යතා හඳුනාගනිමින් රට නිවැරදි දිශානතීන් කරා මෙහෙයවීමට අවශ්‍ය දැක්ම හඳුනා ගැනීම සඳහා වාර්ෂිකව අන්තර්ජාතික පර්යේෂණ සැසිය සංවිධානය කරනු ලබයි. කාලීන තේමා ඔස්සේ බහුවිධ ක්ෂේත්‍රවල දෙස් විදෙස් විද්වතුන්ගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව මෙම පර්යේෂණ සැසිය සංවිධානය කරනු ලබයි.

පසුගිය දශක හතරක් වැනි කෙටි කාල පරිච්ඡේදයක් තුළ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට නොදෙවෙනි තරමට හා භෞතික හා මානව සම්පත්වලින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ශක්තිමත්වී තිබේ. නවීන අංගෝපාංගවලින් සමන්විත දේශන ශාලා, ශ්‍රවණාගාර, විද්‍යාගාර, පුස්තකාල, ශාරීරික අභ්‍යාස මධ්‍යස්ථාන, පිහිණුම් තටාක, ක්‍රීඩා පිටි, ක්‍රීඩාගාර, පරිපාලන ගොඩනැගිලි, නේවාසිකාගාර, මනරම් උද්‍යාන, ආපන ශාලා, භෝජනාගාර ආදි භෞතික සම්පත් ඊට කදිම නිදසුන්ය. සෑම විෂය ක්ෂේත්‍රයකම පරිපූර්ණ අත්දැකීම් ඇති මහාචාර්යවරුන් ප්‍රමුඛ අධ්‍යයන කාර්ය මණ්ඩලය, පරිපාලන කාර්ය මණ්ඩලය හා සේවා හා සිවිල් අධ්‍යයන සහයක හා සෙසු කාර්ය මණ්ඩල ආරක්ෂක විශ්ව විද්‍යාලය සතු වටිනා මානව සම්පත් වේ.

පොත පත දැනුම හා ගවේශනශීලී දැනුමට පමණක් සීමා නොවී, විනය ගරුක නායකත්ව ගුණාංගවලින් පිරිපුන් විද්‍යාර්ථීන් බිහි කිරීම සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය කැප වී ක්‍රියා කරයි. නව මානයන් ඔස්සේ ඒ සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට නිරන්තරයෙන් ක්‍රියා කරයි. ආරක්ෂක විශ්ව විද්‍යාලය සිය ශිෂ්‍ය ප්‍රජාව සතු නිපුණතා හා කුසලතා වර්ධනය කිරීම සඳහා සෑම පියවරක්ම නිති ගනු ලබයි.

“උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” යන සාම්ප්‍රදායික කියමනින් ඔබ්බට යමින් විෂයමාලා සංවර්ධනයේදී ලෝක ප්‍රවනතා හා රැකියා වෙළඳ පොළ ප්‍රවනතා ගැඹුරින් අධ්‍යයනය කරමින් “මතු රැකෙනා ශිල්පයමයි උගත මනා” යන ආදර්ශයෙහි පිහිටා කටයුතු කරයි. අග්නිදිග ආසියාව තුළ පමණක් නොව ආසියාව තුළත් ඉන් නොනැවතී ජාත්‍යන්තර තලයේදීත් ශ්‍රී ලාංකේය අභිමානය සහිත සන්නාමයක් ගොඩනැගීම මේ සෑම ප්‍රයත්නයකම අභිමතාර්ථය වේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ රජය සෑම වසරකම ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සඳහා ප්‍රාග්ධන හා පුනරාවර්ථන ප්‍රතිපාදන ලබා දෙයි. එහෙත් යටිතල පහසුකම් සංවර්ධනය, ගොඩනැගිලි ඉදිකිරීම් හා ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය විද්‍යාගාර උපකරණ, පරිගණක හා වෙනත් භෞතික සම්පත් අත්පත් කර ගැනීමේදී රජයට අතිරේක වැය බරක් නොවී කටයුතු කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය ළඟා කර ගැනීමට ආරක්ෂක විශ්ව විද්‍යාලය සමත් වී තිබේ. ඉදිරි වසර කිහිපයේ දී ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයක් ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය පිඹුරුපත් සැකසෙමින් පවතී. මේ තුළින් ජාතියට හිමිවන ආර්ථික හා සමාජ ඵලය ලඝුකොට තැකිය නොහැකිය.

ආසියාතික රටවලට පමණක් සීමා නොවී, යුරෝපීය රටවල් දක්වා විහිදුණු ජාත්‍යන්තර තලයේ පිළිගත් විශ්ව විද්‍යාල හා අවබෝධතා ගිවිසුම්වලට එලෙඹ ගුරු ශිෂ්‍ය සහභාගිත්වය සහිත උසස් ඉගෙනුම් පරිසරයක් ගොඩනැංවීම කෙරෙහි විශේෂ අවධානයක් කර තිබේ.

ජාතික අවශ්‍යතා හා ප්‍රමුඛතා වඩාත් හොඳින් අවබෝධ කර ගනිමින් විශ්ව විද්‍යාලය සිය වපසරිය ක්‍රමයෙන් පුලුල් කරමින් තාක්ෂණික පීඨය හා අපරාධ යුක්ති පීඨය මේ වසරේදී ස්ථාපිත කිරීම තුළින් වෘත්තීයවේදීන් වැඩි පිරිසකට සිය උසස් අධ්‍යාපන අවස්ථා සම්පූර්ණ කර ගැනීම සඳහා අවකාශ සලසා දී තිබේ. තාක්ෂණිකවේදීන් බිහි කිරීම තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම මෙහි සැබෑ අරමුණයි.

ස්ථිර කාර්ය මණ්ඩලය සඳහා රක්ෂණ යෝජනා ක්‍රමය, වාර්ෂික සේවා ඇගයීම්, වසරකට දෙවරක් මූල්‍ය ප්‍රධාන ලබා දීම, වෛද්‍ය පහසුකම් සැලසීම, නිල ඇඳුම් ලබාදීම ආදී සුබසාධන ක්‍රියාවලින් බල ගන්වමින් වඩාත් උසස් සේවා පරිසරයක් සැලසීම තුළින් සේවක අභිප්‍රේරණය ඉහළ නැංවීමට විශ්ව විද්‍යාලයීය පාලන අධිකාරිය කටයුතු කරනු ලබයි.
ආරක්ෂක පවුලේ අපට ආවේණික වූ සම්ප්‍රදායන් ගරු කරමින් අනන්‍යතාවයන් ආරක්ෂාවන ලෙස විද්‍යාලයීය භූමිකාව ගොඩ නැංවීම සඳහා පූර්ණ විශ්වාසයෙන් ආරක්ෂක විශ්ව විද්‍යාලයීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය එකාවන්ව බැඳී ක්‍රියා කරනු ලබයි.

පුරා දශක හතරක් ජාතිය වෙනුවෙන් ඉටු කළ අමිල මෙහෙවර හා උත්කෘෂ්ඨ කාර්යභාරය අගයමින්, අතිගරු ජනාධිපතිතුමා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත ජනාධිපති හා විශ්ව විද්‍යාලයීය වර්ණ ප්‍රදානය කිරීම සදානුස්මරණීය මතක සටහනකි.

ත්‍රිවිධ හමුදාවන්හි මනා සම්බන්ධීකරණය ගොඩනගා ගනිමින්, වෘත්තීය නිපුණතා සහිත සංවර්ධන නිලධාරීන් බිහි කිරීම තුළින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ජාතික ආරක්ෂාව හා උපායමාර්ගික අධ්‍යයන ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛයාගේ සහ පුරෝගාමියාගේ කාර්යය භාරය ඉටු කරමින් සිදු කරන ජාතික මෙහෙවර මෙම වර්ණ ප්‍රදානය තුළින් වඩාත් ප්‍රභාෂ්වර වේ.

ශ්‍රී ලංකාව ආසියාවේ දැනුම කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය මුදුන් පමුණුමාලීමේදී අත්පත් කරගත් ජයග්‍රහණ, විශිෂ්ටත්වය, අද්විතීත්වය හා කැපවීම විශ්ව විද්‍යාලයීය හා ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීම තුළින් මැනවින් ප්‍රතිමූර්තිමත් වනු නියතය.

සාපලත් 30 වසරක කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මානුෂීය ක්‍රියාන්විතයන් හි දී ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිප්සතර හැදෑරූ නිලධාරීහු සතුරු බලමුලු වනසා, මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් අභීතව සටන් කළහ. එහිදී නිලධාරීහු 109 දෙනෙක් ජාතිය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළහ. බොහෝ පිරිසක් පූර්ණ හා අර්ධ වශයෙන් ආබාධිත තත්ත්වයට පත් වූ අතර, ජාතිය වෙනුවෙන් ඉටු කළ උත්තරීතර පරිත්‍යාග වෙනුවෙන් වීරත්වය උදෙසා පිරිනමන සම්මාන හා ප්‍රදානයන්ට පාත්‍ර වූහ. අතිගරු ජනාධිපතිතුමා ප්‍රදානය කළ මෙම වර්ණ තුළින් රණශූර ඒ විරුවන්ගේ වීරත්වය හා ජාතිමාපකත්වය වර්ණවත් කරයි.

“සිය රටටමයි කවදත්” ආදර්ශයේ පිහිටා ක්‍රියා කරමින් රටේ තිරසර සංවර්ධන අභිලාශයන් මුදුන්පමුණුවනු වස් නවෝත්පාදන බිහි කරමින්, රටට වැය බරක් නොවෙමින් දැයේ දරුවන්ගේ උසස් අධ්‍යාපන අභිලාශයන් ඉටු කරමින් හා උසස් අධ්‍යාපනය සඳහා විදේශයන් වෙත ගලා යන විදේශ විනිමය දේශය වෙත රඳවා ගනිමින්, ජාතික සුව සේවයන්හි ප්‍රමාණාත්මක හා ගුණාත්මක ප්‍රමිතීන් ඉහළ නංවමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දක්වන දායකත්වය මෙම වර්ණ තුළින් වඩාත් ප්‍රභාෂ්වර වේ.

වර්තමානයේදී ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත නායකත්වය ලබාදෙන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද ප්‍රියදර්ශන පීරිස් මැතිතුමාගේ දැක්ම අභිමානවත් ගමනක සාඩම්බරය සනිටුහන් කරයි.

නිවැරදි දිශානතීන් ඔස්සේ නොසැලෙන ජවයෙන් හා ශක්තිමත් නායකත්වයෙන් සාඩම්බර ලාංකීය සන්නාමය බවට පත්වෙමින්, අභිමානවත් ගමනක එළැඹී දැයේ ආරක්ෂක තක්සලාව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සැමකල්හිම යෙහෙන් වැජඹේවා යන්න සුවහසක් ලාංකීය දූ පුතුන්ගේ හදවතින් නැගෙන නිර්මල ප්‍රාර්ථනාවයි.

අනුග්‍රහය - කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය