2019 ජුලි මස 12 වන දින සිරස රූපවාහිනි රාත්‍රි 0700 ප්‍රවෘත්ති විකාශය තුලින් පළවූ ඇමරිකානු ගුවන් යානයක් සම්බන්ධ පුවත හා සබැඳේ.

ජුලි 13, 2019

2019 ජුලි මස 12 වන දින සිරස රූපවාහිනි රාත්‍රි 0700 පුවත් විකාශය මඟින්, ඇමරිකාවේ වෙස්ටන් ග්ලෝබල් එයාර් ලයින් නැමති භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගමට අයත් මැක්ඩොනල් ඩග්ලස් 11 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය 2019 ජුලි මස 12 වන දින උදෑසන 0350 පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණීම වාර්තා කරන ලදි. එම ප්‍රවෘත්තිය සැබඳිව ප්‍රවෘත්ති විකාශනයෙන් සිදුකරන ලද විග්‍රහය මඟින් සැබෑතත්වය ඉක්මවා වැරදි අදහසක් ජනතාව තුළ ඇතිවිය හැකි බැව් නිරීක්‍ෂණ වූ බැවින්, උක්ත ගුවන් යානය සම්බන්ධව සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙතින් අප විසින් තොරතුරු විමසන ලද අතර, පහත සඳහන් තොරතුරු අනාවරණය විය.

මැක්ඩොනල් ඩග්ලස් 11 යන ගුවන් යානය භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානයකි. එය සාමාන්‍ය ගුවන් යානාවක් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් පූර්ව අනුමැතිය සහිතව ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මෙම යානයේ කාර්යය මණ්ඩලයේ විස්තර ඇතුළු සියළු අවශ්‍ය අනෙකුත් විස්තරයන් සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත ඉදිරිපත්කර ඇති අතර, එය නියමිත ගුවන් මාර්ගයේ ගමන් කරන අතරතුර අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් ලබාගැනීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ගොඩබා ඇත. තවද මෙම ගුවන් යානය 2019 ජුලි මස 13 වන දින පෙ:ව 0737 ට ෆුජයිරා ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පිටත්ව ගොස් ඇත