ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ දූත පිරිස ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් හමුවෙයි

සැප්තැම්බර් 05, 2022

රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ (Australian Joint Agency Task Force) නියෝජිත පිරිසක් පසුගියදා (අගෝස්තු 31) මිරිස්ස වෙරළාරක්‍ෂක මූලස්ථානයේදී ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක හමුවිය.

ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බළකායේ දූත පිරිසට පුද්ගල ජාවාරම් සහ මිනිස් ජාවාරම් පිළිබඳ තානාපති ලුසීන් මැන්ටන් මහත්මිය සහ පුද්ගලයන් ජාවාරම් මර්දන අංශයේ අධ්‍යක්‍ෂ ක්ලෝඩින් ලැමන්ඩ් මහත්මිය ඇතුළත් වූ අතර, ඔවුන්  සමඟ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් සහ  ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ පළමු ලේකම්, පරීක්‍ෂක බ්‍රෙට් ෂෙන්ඩර් ද එක්ව සිටි බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පැවසීය.

මෙම හමුවේදී වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් ඔස්ට්‍රේලියානු රජය විසින් සපයන ලද යටිතල පහසුකම්, පුහුණුව සහ වෘත්තීය සහයෝගය කෘතඥපූර්වකව සිහිපත් කරන ලද අතර, රට තුළ පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ මෙහෙයුම් දිගටම කරගෙන යාම සඳහා නාවික හමුදා, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු සහ ගුවන් හමුදා ඒකක සඳහා ඉන්ධන සැපයීම සඳහා මෑතකාලීනව සිදුකල පරිත්‍යාගයන්ද ඉස්මතු කළේය.

මෙරට මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය විරෝධී සහ නීති විරෝධී මසුන් ඇල්ලීම වැලැක්වීමට වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කැපවූ සේවාව ගැන රියර් අද්මිරාල් ඒකනායක මහතා සඳහන් කළ අතර, මෑත සතිවල නීතිවිරෝධී සංක්‍රමණ උත්සාහයන් පිළිබඳ සිදුවිම් ද සඳහන් කළේය.

රට තුළ මිනිස් ජාවාරම් කිරීමේ උත්සාහයන් පාලනය කිරීම සඳහා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය සහ එහි නිලධාරීන් ඉටුකරන කාර්යභාරය පිළිබඳව ඔස්ට්‍රේලියානු නියෝජිත පිරිස සිය ප්‍රසාදය පළ කළහ. ඔස්ට්‍රේලියානු රජය නීති විරෝධී ජාවාරම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ට සහයවීමට කැපවී සිටින බවත් එහි තවත් වැඩිදියුණු කිරීම් සඳහා වෙනත් ජාත්‍යන්තර මුලපිරීම් සමඟ සම්බන්ධීකරණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ නියෝජිත කණ්ඩායම් ප්‍රධානියා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.