යුද හමුදා කාන්තා බිම් බෝම්බ ඉවත් කරන්නන් යුද හමුදාපතිගේ ඇගයීමට

සැප්තැම්බර් 09, 2022

බිම් බෝම්බ ඉවත් කරන්නන් 54 දෙනෙකුගෙන් යුත් පළමු කාන්තා කණ්ඩායමට ප්‍රවීණතා සහතික ප්‍රදානය කිරීම බ්‍රහස්පතින්දා (සැප් 08) දින යුද හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.

ඒ අනුව ජාත්‍යන්තරව පිළිගත් මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාවක් හැදෑරූ කාන්තා නිලධාරිනියන් 3 දෙනෙකු සහ සෙබළියන් 51 දෙනෙකු ඇතුළත් කණ්ඩායමට යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් සහතික පත් ප්‍රදානය කරන ලදී.

බිම්බෝම්බ ඉවත් කිරීමේ කාන්තා මූලික පාඨමාලාව පසුගිය වසරේ (2021) දෙසැම්බර් මස බූඔය ඉංජිනේරු බලසේනා මූලස්ථානයේදී ආරම්භ වූ අතර, දෙවන පාඨමාලාව යාපනය මයිලඩි 10 වන ක්ෂේත්‍ර ඉංජිනේරු මූලස්ථානයේදී මෙම වසරේ (2022) ජුනි මස ආරම්භ විය.

මෙම යුද හමුදා කාන්තා බිම්බෝම්බ ඉවත් කරන්නන් කණ්ඩායම රට තුළ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා අනුයුක්ත කරනු ඇති අතර එමඟින් ලබා ගන්නා අත්දැකීම් සමඟ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි යටතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා අවස්ථාව ලබා ගත හැකි බව යුද හමුදා මාධ්‍ය සඳහන් කරයි.

යුද හමුදා අධ්‍යක්ෂ ‌ෙජනරාල් මාණ්ඩලික, මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ජී.සී.එස්.බී. විජයසුන්දර විසින්ද මෙහිදී සහතිකපත් ප්‍රදානය ද සිදු කරන ලදී.