නව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සිය ධූරයේ වැඩ භාර ගනී

සැප්තැම්බර් 12, 2022

නවතමයෙන් පත්වූ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (සැප් 12) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී පැවති චාම් උත්සවයකදී ආගමික ආශිර්වාද මධ්‍යයේ සුබ මොහොතින් සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදි.

එම පරිශ්‍රයට පැමිණි නව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් පිළිගනු ලැබීය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පත් කරනු ලැබූ ඔහු පසුගිය බ්‍රහස්පතින්දා (8) දින කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකාවේ තරුණ දේශපාලනඥයෙකු වන එතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, මධ්‍යම පළාත් හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම මීට පෙර වරාය සහ නාවික කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

ජනාධිපතිවරයා විසින් පවරන ලද මෙම රාජකාරිය කැපවීමෙන් යුතුව තමන් ඉටුකරන බවට මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටින ලද අතර, වර්තමානයේ රටෙහි ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා ජාතික ආරක්‍ෂව, නීතියේ ආධිපත්‍ය සහ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා ඉවසීමෙන් සහ අවබෝධයෙන් කටයුතු කිරිම අවශ්‍ය බවද අවධාරණය කරන ලදි.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් මෙම අවස්ථාවට සහභාගි වූහ.