රණවිරු පවුලකට නව ඉඩමක්

සැප්තැම්බර් 14, 2022

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ යෙදී සිටියදී දිවිපිදූ මහේෂ් පද්මකුමාර රණවිරුවාගේ බිරිඳ වන ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ඩී.ඩී සමන්ති කුමාරි ප්‍රනාන්දු මහත්මිය වෙත පර්චස් 10.20 ක ඉඩමක් රණවිරු සේවා අධිකාරිය විසින් පසුගියදා පරිත්‍යාග කරන ලදී.

මෙලෙස පරිත්‍යාග කරන ලද්දේ ඉඩමක් නොමැති රණවිරුවකු වෙත ලබාදීම සඳහා වතුපිටිවල ප්‍රදේශයේ පදිංචි ධනසීලි කුමාරසිංහ සහ පියසීලි කුමාරසිංහ යන පරිත්‍යාගශීලින් විසින් තෑගි ඔප්පුවකින් රණවිරු සේවා අධිකාරිය වෙත ලබා දුන් ඉඩමකි.

මෙම ඉඩම සඳහා වන නිත්‍යානුකූල අයිතිය පැවරීම සඳහා රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත යුද හමුදාවේ නීති සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සහාය ඇතිව ඉහත සඳහන් රණවිරු පවුල සඳහා ඔප්පු අත්සන් කිරීම සහ තාවකාලික බලපත්‍රය පිරිනැමීම රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් රණවිරු සේවා අධිකාරියේ දී සිදු විය.

 පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ, පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ධම්මිකා ෂෙල්ටන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන්, යුද හමුදා නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ රණවිරු පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාව සදහා සහභාගී විය.