සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට වසර 16ක් සැපිරේ

සැප්තැම්බර් 14, 2022

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 16 වන සංවත්සර දින සැමරුම ඊයේ (සැප්තැම්බර් 13) මොරටුවේ පිහිටි එම දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී එහි අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ලමා‍හේවාගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් පැවැත්විය.

ඒ අනුව, දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී අධ්‍යක්ෂ ජෙනරාල්තුමා වෙත වර්ණවත් සම්මාන මුරයක් පිරිනැමීම, ආගමික වතාවත් පැවැත්වීම සහ සියළු බලකා මූලස්ථානයන්හි දෙපාර්තමේන්තු දින සැමරීමේ වැඩසටහන් පැවැත්වීම සිදුකළ බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මාධ්‍ය සඳහන් කරයි.

තවද, ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ දිවිපිදූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජික සාමාජිකාවන් 545 දෙනෙකු අනුස්මරණය කරමින් මිහින්තලය රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර දැක්වීමද සිදුකරන ලදී.

16 වන සංවත්සරයට සමගාමීව සැප්තැම්බර් මස 09 වන දින මහනුවර ශ්‍රී දළදා වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවක් හා ගිලන්පස බුද්ධ පූජාවක් පවත්වා දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන්ට ආශිර්වාද කිරීම සහ සැප්තැම්බර් මස 08 වන දින මොරටුව රාවතාවත්ත සුරතාවියන්ගේ රාජේශ්වරී දේවස්ථානයේදී කතෝලික ආගමික වතාවත් පවත්වා ධජයන්ට සෙත් පැතීමද සිදු කළ බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගාසිටුවීමට ශක්තියක් වෙමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ව්‍යාපෘති රැසක් සිදුකරනු ලබයි.